ඉරාන සාම සැලසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට ජාතික ආරක්ෂක කණ්ඩායම මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මෙම යෝජනාවලිය පිළිබඳව ධවල මන්දිරයේදී විශේෂ සාකච්ඡා පවත්වන බවයි වාර්තා වන්නේ.
කලාපීය නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑම ද මේ වන විට ඉහළ යමින් පවතිනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති නව සාම යෝජනාවලිය සම්බන්ධයෙන් අමෙරිකානු පරිපාලනය සිය සමාලෝචන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ යුද්ධය නතර කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අංගයක් වන බවයි ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, ඉරානය සතුව කිසිලෙසකත් න්‍යෂ්ටික අවි නොතිබිය යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
