ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර මාලාවක්

දකුණු දිග ඉරානයේ පිහිටි මිසයිල මධ්‍යස්ථාන සහ බෝම්බ ඇටවීමට උත්සාහ කළ යාත්‍රා ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාව විසින් යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අමෙරිකානු මධ්‍යම බලඇණිය ප්‍රකාශ කරන්නේ තම භට පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ආත්මාරක්ෂාව වෙනුවෙන් මෙම ප්‍රහාර දියත් කළ බවයි.

දෙපාර්ශවය අතර සටන් විරාමයක් පවතින පසුබිමක වුවද තම ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස ක්‍රියා කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි බන්දාර් අබ්බාස් නාවික කඳවුර ආශ්‍රිත ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, සාම සාකච්ඡා සඳහා ඉන් එල්ල වන බලපෑම මෙතෙක් පැහැදිලි නැහැ.

මේ අතර අමෙරිකාව සමඟ පවතින ගැටුම් නිමා කිරීම සඳහා වන එකඟතාවක් ආසන්න මට්ටමක නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

කෙසේ වුවද දෙපාර්ශවය අතර පවතින මතභේදාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් අවසන් තීරණවලට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.