ඇමති ලාල්කාන්ත සහ පකිස්තානු මහකොමසාරිස්වරයා අතර හමුවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තානු මහකොමසාරිස් Major General Dr Nayyar Naseer මහතා අතර හමුවක් ඊයේ (25) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට එක් වූ පකිස්තානු මහකොමසාරිස්වරයා මෙලෙස අදහස් පළ කළේය.

“පළමුවෙන් මෙම අවස්ථාව සලසා දීම සම්බන්ධ‍යෙන් ස්තූතිවන්ත වෙනවා. පකිස්තානයත් කෘෂිකාර්මික රටක් හැටියට ශ්‍රී ලංකාවත් කෘෂිකාර්මික රටක් නිසා රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගැනීමේ හැකියාව තියෙනවා. පකිස්තානය කියන්නේ ලෝකයේ පස්වෙනි තැනට සත්ව නිෂ්පාදනය පැත්තේ ඉන්න රට. කිරි නිෂ්පාදනය අතින් පස්වෙනි තැන ඉන්නවා. ඒ නිසා රටවල් දෙක අතර ඒ පැත්තෙන් සම්බන්ධතාවයක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව උදව් කරන්න සූදානම්.

පකිස්තානයේ තියෙනවා සීනි නිෂ්පාදනය. ඒ වගේම එළවළු නිෂ්පාදනය. පලතුරු ආදී සෑම අංශයක්ම ඉහළ මට්ටමින් තියෙනවා. අපේ රටේ හොඳ වර්ගවල බාස්මතී ප්‍රභේද හදලා තියෙනවා. ශ්‍රී ලංකාවට ගැලපෙන බාස්මතී වර්ග හදාගන්න හැකියාවක් තියෙනවා. පකිස්තානයේ ඉහළ තත්ත්වයේ ඉතා රසවත් අඹ වර්ගයක් තියෙනවා.

2010 වර්ෂයේ සිට අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නම ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කළා. ජලය තිබුණට බෙදා හැරීමේ ගැටළු පවතිනවා. ඒ තත්ත්වය පානීය ජලය බෙදා හැරීමට වගේම වාරිමාර්ග ක්ෂේත්‍රයටත් බලපෑම් එල්ල කරනවා. පකිස්තානය කෘෂිකර්මාන්තය සහ සත්ව නිෂ්පාදනය අතින් ඉදිරියට ඇවිත් තියෙනවා.

ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිතයි. අපි ඒ සඳහා ඉතා උවමනාවෙන් සූදානම් වෙනවා. මම ආරාධනා කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයාට අගමැතිතුමිය සමඟ මේ සංචාරය සඳහා එක්වන්න කියලා. එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක පකිස්තානයට ඇවිත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතිකරගෙන තියෙන දියුණුව දැකගන්න කියලා මම ආරාධනා කරනවා.

පකිස්තානය තුළ තිබෙනවා විශිෂ්ටතා කේන්ද්‍රය. එතනදි ඒකට සම්බන්ධ වෙලා තියෙන පර්යේෂණ සහ සංවර්ධන ආයතන දැකබලා ගන්න පුළුවන්.

2010න් පස්සේ පකිස්තානයේ කෘෂිකර්මය කියන විෂය පළාත් අංශවලටත් කෘෂිකර්මය කරන්න බලය දීලා තියෙනවා. ඒ අනුව පළාත්වලත් විශිෂ්ටතා කේන්ද්‍ර පිහිටුවලා තියෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර 2010 වසරේදී අවසන් වරට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. නිශ්චිත විෂයන්ට අදාළව අලුතින් අවබෝධතා ගිවිසුමත් අත්සන් කිරීම වැදගත්. විශේෂයෙන් පොල්, අන්නාසි, ධාරිතා සංවර්ධනය, සත්ව නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රයන්ට අදාළව. එතනදි අපිට මීට වඩා සහයෝගයෙන් කටයුතු කළ හැකියි.”

මෙහිදී පකිස්තානු මහකොමසාරිස්වරයගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ද සිය අදහස් පළ කළේය.

“පළමුවෙන් මෙම හමුවීම සම්බන්ධයෙන් සතුට පළ කරනවා. පකිස්තානය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වශයෙන් වෙනස් කිරීම කියන කාරණාවෙදි ඉන් අපටත් හොඳ අදහසක් ලබාගත හැකියි. අපේ රට තුළත් තිබෙන්නේ ජල හිඟයක් නෙවෙයි. ජල කලමනාකරණයේ ගැටළුවක්.

පකිස්තානය කියන්නේ දේශපාලනමය වශයෙන් අපේ රටට කිසිදු අවස්ථාවක බලපෑම් නොකළ රටක්. කිසිම වාසියකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීම සම්බන්ධයෙන් සහ දේශපාලන වාසි ලබා නොගැනීම සම්බන්ධයෙන් මම පකිස්තානයට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපට පකිස්තානය සමඟ විවෘතව කටයුතු කළ හැකියි.

අගමැතිතුමිය සමඟ සංචාරය සඳහා කළ ආරාධනාවට ස්තූතියි. වෙනත් අවස්ථාවක පකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණෙන්නම්. ඇමරිකා – ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පකිස්තානයේ මැදිහත්වීම අගය කළ යුතුයි. පකිස්තානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. ”

මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී පකිස්තානය පළ කළ සහයෝගයට ස්තූතිය පළ කළේය.

ඉදිරි කන්න සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද ලේකම්වරයා මෙහිදී ඉල්ලා සිටියේය.