NIRDC යටතේ පළමු කාර්තුව තුළ තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහාසහතික පත් පිරිනැමේ

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

ඒඅනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිලාභීන් වෙත සහතික පත් පිළිගැන්වීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය යන මහත්වරු විසින් සිදු කරන ලදී.

ලංකා බැංකුව මගින් මෙම මුල්‍ය පහසුකම ලබා දීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමටද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකුවේ මහා කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරු අතර මෙහිදී අත්සන් තැබිණි.ගිවිසුම ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන, අයදුම්කරුවන්ගේ ව්‍යාපෘතියට අදාළ කාර්ය සාධක දර්ශක (KPI) අනුව ප්‍රගතිය පරීක්ෂා කරමින් කොටස් වශයෙන් නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව,
1- විදුලි සංදේශ ආශ්‍රිත ජාලගත ළමා හිතකාමී අන්තර්ජාල පද්ධතිය සහ ඩිජිටල් යහපැවැත්මේ නව නිර්මාණයක් වන Vx Safenet මෙවලම වෙනුවෙන් සහතික පත්‍රය Visuamatix (Pvt) Ltd සමාගමේ තීක්ෂණ කුමාර මහතා වෙතද,

2- Fractal Graphene and Activated කාබන් තාක්ෂණය වැනි අති නවීන රසායනික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත Volfpack Energy සුපිරි ධාරිත්‍රක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Volfpack Energy (Pvt) Ltd හි සංජීව කරුණාරත්න මහතා වෙතද,

3- ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය, සීනි හෝ මධ්‍යසාර භාවිතයෙන් තොරව කුරුඳු පොතුවල අන්තර්ගත සියලුම අත්‍යවශ්‍ය පෝෂක කොටස්වල ගුණය මනාව සුරැකි Cold Brewed කුරුදු නිස්සාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Pure Cinnamon Exports (Pvt) Ltd හි මුදිත ජයතිලක මහතා වෙතද,

4- අපනයනය කරනු ලබන පොල් තෙල්වල පිරිසිදු බව රසායනාගාරයකින් බැහැරව ඉතා වේගයෙන් සහ නිවැරදිව පරීක්ෂා කළ හැකි සුවිශේෂී අධි තාක්ෂණික උපකරණය හඳුන්වාදීම උදෙසා කොළඹ විශ්වවිද්‍යාලයේ ආලෝකා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය මහාචාර්ය ජී.කේ.ඩී.එස්. ජයනෙත්ති මහතා වෙතද

5- තේ කලාවේ විශිෂ්ටත්වය සහ නව්‍යකරණය ලොව හමුවේ දිග හරින දේශීය අනන්‍යතාවට මුල් තැන දෙන Samanala Farm ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Samanala Farm ආයතනයේ පබසරා මනතුංග මහත්මිය වෙතද,

6- සිංහල අකුරු ටයිප් කිරීමේ අපහසුව මගහරවා ගනිමින් රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම කර ගැනීමටත්, විශේෂයෙන් දෘශ්‍යාබාධිත ප්‍රජාව ඩිජිටල් ලෝකය සමග බද්ධ කිරීමටත් නිර්මාණය කළ ස්වභාවික හඬින් යුත් AI System (Chatbot) for Sinhala පද්ධතිය වෙනුවෙන් සහතික පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ආචාර්ය රනිදිල් පුෂ්පානන්ද මහතා වෙතද,

7- කිතුල් කර්මාන්තයට නව පණක් ලබා දෙමින් සීනි සහිත පාන වෙනුවට ස්වභාවික ගුණය සහිත කිතුල් කෝලා සහ මේද රහිත කිරි නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Planet’s Pick Holdings (Pvt) Ltd වෙනුවෙන් කපිල විජේසේකර මහතා වෙතද,

8- ‍ Flat knit තාක්ෂණය ඔස්සේ අපනයන ඉලක්ක කර ගනිමින් ගලගෙදර, මාතලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල කාන්තාවන් සවිබල ගන්වමින් ඉහළ සමාජයීය බලපෑමක් ඇති කරන TDR Knitting ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය TDR Knitting (Pvt) Ltd හි ලක්මාලි වනසිංහ මහත්මිය වෙතද

9- රසායනික පොහොර භාවිතය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගනිමින් පසෙහි වෙසෙන ස්වභාවික ක්ෂද්‍ර ජීවින් සක්‍රීය කිරීම මගින් ඉහළ අස්වැන්නක් ලබා දෙන “Magic-grow” පාංශු සක්‍රීයකාරක ව්‍යාපෘතිය වෙනුවෙන් සහතික පත්‍රය Wasala Agro ආයතනයේ වාසල සිරිවර්ධන මහතා වෙතද භාර දෙන ලදී.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ පර්යේෂණ සොයා ගැනීම් වාණිජකරණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව මානයක් එක් කෙරෙන බවත්, එබැවින් සංවර්ධනය සහ ආර්ථික වශයෙන් මෙම අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක් බවත්ය. මෙම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් ලැබූ සියලු ව්‍යාපෘතිලාභීන් වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය සුබපැතුම් එක් කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා

යමෙකුගේ පර්යේෂණ සංකල්පයක් වාණිජකරණය දක්වා යන ගමනට අවශ්‍ය පසුබිම සකසා දීම වෙනුවෙන් අප අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 14 මේ වන විට සූදානම් කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් අමාත්‍යාංශ යටතේ ඇති පර්යේෂණ ආයතනද ඒ සමග සම්බන්ධකරගෙන තිබෙන අතර විශේෂයෙන් විශ්වවිද්‍යාල, සෞඛ්‍ය, වැවිලි, කෘෂි කර්මාන්තය ඒ අතර ප්‍රමුඛ වෙනවා.

අපිට පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අප රජය යටතේ එම ප්‍රතිපත්තිය ළගදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබෙනවා. ඕනෑම දියුණු රටක් ගත්විට පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පර්යේෂණ සහ සංවර්ධනයට අදාළ ආයතනික ව්‍යුහය අපි මේ වන විට ශක්තිමත් කරමින් තිබෙනවා. පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ අපි නිසි අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව එය මහ පොළවේ පැල කළ යුත්තේ කෙසේද සහ එම ක්‍රමවේදය පිළිබඳ අපිට මනා අවබෝධයක් තිබෙනවා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

රටක් ලෙස ඉතා වැදගත් පියවරක සාක්ෂිකරුවන් බවට පත්වන මොහොතකටයි අපි අද එක්ව සිටින්නේ. ‘පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්’ යන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී පර්යේෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එය හුදු දේශපාලන සැරසිල්ලක් බවට පත් වුණේ නැහැ. අපි වසර එක හමාරක සිට ක්ෂේත්‍ර 17කට පමණ බෙදාගෙන අපේ රටේ දැනට සිටින සහ විදේශීයව ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එකතු කර ගෙන මේ පර්යේෂණ සංවර්ධන සහ නවෝතාපදන යන ක්ෂේත්‍රය පිළිබඳව කතිකාවක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති කාර්යාලය යටතේ පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය ආරම්භ කළා.

රටක් ලෙස අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ බෝ නොවන රෝග පිළිබඳ ගැටලුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස අපි වාර්ෂිකව විශාල මුදලක් මෙම රෝගවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට වැය කරනවා. එසේ නම් මේ අධි තාක්ෂණික උපකරණවලට සීමාවක් නැතිව කරන වියදම යම් ආකාරයකින් පාලනය කර ගැනීමට නම් අපිට මේ රෝගීන් බිම් මට්ටමින් කළින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් අවශ්‍යයි. තවමත් අපි ඊට සමත් වී නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් කෙරෙන පර්යේෂණවලට අපි ඉතා ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි.

ඒ අනුව සෑම ක්ෂේත්‍රයකම පවතින මෙම ජනතා අවශ්‍යතාව පර්යේෂණ මගින් ප්‍රායෝගීක තත්ත්වයට ගෙන එන්නේ කෙසේද කියන වගකීම ඔබට පැවරෙනවා. ඒ නිසා තවදුරටත් මෙය විසිරුණු, සම්බන්ධීකරණයකින් තොර දෙයක් බවට පත් කර ගත යුතු නැහැ. රජය උත්සාහ කරන්නේ මෙම අංශ සියල්ල ඒකාබද්ධ කර ගනිමින් පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන සංකල්පය යථාර්ථයක් බවට පත් කර ගැනීමටයි.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා

නිෂ්පාදන ආර්ථිකය වර්තමාන රජයේ ප්‍රධන සංවර්ධන ප්‍රතිපත්තියක්. අගය එකතු කළ භාණ්ඩ හා සේවා ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්. මෙම භාණ්ඩ හා සේවා ලබා ගත හැක්කේ පර්යේෂණ සහ සංවර්ධනය තුළින්. ඒ නිසා මේ පිළිබඳව වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වීමට පෙර සිටම ඉතා උනන්දුවෙන් කටයුතු කළා. මෙම අවශ්‍යතාව මැනවින් පැහැදිළි කරගත් නායකයෙක් ලෙස එතුමා අඛණ්ඩවම මෙම කටයුතු වෙනුවෙන් ඉතා විශාල ශක්තියක් ලබා දුන්නා. එහි සුවිශේෂී අවස්ථාවකටයි අද අප මේ එක්ව සිටින්නේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) අපි ආරම්භ කළා.රටේ කොයි තරම් පර්යේෂණ සිදු වුවත්, වාණිජයකරණය සඳහා විභවයක් තිබුණත් ඒවා ඉදිරියට යන්නේ නැහැ. එවැනි පර්යේෂණ පිළිබඳ අවධානය යොමු කරමින් ඒවා වාණිජකරණය දක්වා ගෙන යාමට සහාය වීම NIRDC මගින් සිදු වෙනනවා.

ඒ අනුව වාණිජකරණ විභවය තිබෙන අවසන් වීමට ආසන්න පර්යේෂණවලට ඉතිරි ටික සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීම NIRDC මගින් සිදු කෙරෙනවා. අද සිදු වන්නේ එම වැඩපිළිවෙළෙහි පළමුවෙනි කොටසයි.

ඒ වගේම පර්යේෂණ සම්පූර්ණ වුවද ඉදිරියට ගෙන යාමට නොහැකි පර්යේෂකයින් සිටිනවා. එවැනි පර්යේෂණ සඳහා ආයෝජකයින් සම්බන්ධ කර දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම පර්යේෂණ සම්පූර්ණ කර, අරමුදල් තිබුණත් වෙනත් ගැටලුවලට මුහුණ දෙන අය සිටිනවා. අපි එවැනි ප්‍රශ්න විසදා දීමටත් කටයුතු කරනවා. මේ කරුණු 03 NIRDC මගින් සිදුවන අතර මෙවැනි දෙයක් ලංකාවේ මීට පෙර ක්‍රියාත්මක වුණේ නැහැ.

අපිට මුල් කාර්තුවේදී රුපියල් බිලියන 2.2 ක පමණ වටිනාකමකින් යුත් පර්යේෂණ යෝජනා ලැබුණා. එම යෝජනා තෝරා ගැනීම සඳහා ඉතා දියුණු සහ විනිවිදභාවයෙන් යුත් ඇගයීම් ක්‍රමයක් අපි අනුගමනය කළා. එම ක්‍රියාවලියේ මූලික කොටස් 05ක් තිබෙනවා. ඒ තමයි පර්යේෂණ සහ තාක්ෂණික ඇගයීම්. පරිපාලන, මූල්‍ය සහ වාණිජකරණ විභවතාව ඇගයීම්. තාක්ෂණික ඇගයීම සඳහා අපි යොදා ගත්තේ ඉතා ස්වාධීන ඇගයුම්කරුවන්. අපිට 200ක පමණ විවිධ ක්ෂේත්‍රවල සුදුසුකම් ලත් ඇගයුම්කරුවන් පිරිසක් දැනට සිටිනවා. ලැදියාවන් මත තෝරාගැනීම් සිදුවීමට තිබෙන අවස්ථා ඉවත් කරමින් එම ඇගයුම් ක්‍රියාවලිය සිදුවීම විශේෂත්වයක්. තාක්ෂණික ඇගයීම්වලින් තෝරාගත් යෝජනා පරිපාලන සහ මූල්‍ය ඇගයීමට යොමු කරනවා. ඒ අතරිනුත් තෝරාගත් යෝජනා 09ක් තමයි අද මෙලෙස ඉදිරිපත් කර තිබෙන්නේ.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් මුදිත ඩී. සෙනරත් යාපා මහතා විසින් මෙහි ස්තූති කතාව සිදු කරනු ලැබීය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුද, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුද, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහුද, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පර්යේෂණ ආයතනවල ප්‍රධානීන්, බැංකු සභාපතිවරු සහ ප්‍රධානීන්, විද්වතුන්, පර්යේෂකයින්, ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.