ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපති දිවංගත මහාචාර්ය සේනක බිබිලේ 49 වන ගුණ සමුරුව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 55 වන සංවත්සර සැමරුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (30) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (Sri Lanka Foundation Institute) ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙවර මෙම වැඩසටහන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම එක්ව සංවිධානය කර තිබුණි.
මෙරට ඖෂධ නිෂ්පාදන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වසර 55 ක් පුරා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉටුකළ අමිල මෙහෙවර ඇගයීමට ලක්කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නිර්මාතෘ මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපති දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතා ඉටු කළ ඓතිහාසික මෙහෙවර මෙහිදී සිහිපත් කිරීමට මෙන්ම ඇගයීමට ද ලක් කෙරිණි.
මෙහිදී දිවංගත මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජායාරූපයකට පුෂ්පෝපහාර දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඇතුළු මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් සිදු විය.
මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සේනක පිලපිටිය මහතා විසින් පවත්වන ලද අතර, මහාචාර්ය බිබිලේ මහතාගේ දැක්ම වර්තමාන සෞඛ්‍ය හා ඖෂධ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයට අදාළ කරගැනීම පිළිබඳව
මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පැවැති ආකූල ව්‍යාකූල තත්ත්වයෙන් ඖෂධ සැපයුම ප්‍රකෘතිමත් කර දුෂ්කර පරිච්චේදයකට පසු ජයග්‍රහණ ද අත්කර ගනිමින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආරක්ෂිත ඖෂධ නියමිත වේලාවට සැපයීමේ ඉලක්කය වෙත ගමන් කරමින් සිටින බවයි.
සියයට 50 ක පමණ මට්ටමක පැවැති රජයේ රෝහල්වලට ඖෂධ සැපයීම සියයට 96 දක්වා වර්ධනය කර ඇති බව ද ඖෂධ සංස්ථාව හරහා රජයේ රෝහල් වලට ඖෂධ වර්ග 862 ක් සපයන බව ද ශල්‍ය උපකරණ 5800 ක් පමණ සැපයීම ට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රජය වසරකට ඖෂධ හා ශල්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 185 ක් වෙන්කර ඇති බවත්, තාක්ෂණික සහ ලියකියවිලිවල ගැටළු නොමැති සියළුම ඖෂධ හා ශල්‍ය උපකරණ සැපයුම්කරුවන්ට ප්‍රමාදයකින් තොරව මුදල් ගෙවීමට පියවර ගෙන ඇති බව ද පැවසීය.
ඖෂධයක් නිෂ්පාදනය කරන කාලයට වඩා වැඩි කාලයක් පරිපාලන යාන්ත්‍රණයට ගතවන බවත්, එම කාලය අවම කර ඖෂධ සැපයුම කාර්යක්ෂම හා ස්ථාවර කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසූ අතර, ලබන වසරේ මෙම ක්‍රියාවළිය තවත් කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කරන බව ද පැවසීය.
ලබන වසරේ ඉතිහාසයේ පළමු වතාවට රජයේ අරමුදල් සියයට සියයක් යොදවා මෙරටට අවශ්‍ය සියළු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට කටයුතු කරන බව ද ඖෂධ මිලදී ගැනීමෙි දී හදිසි මිලදී ගැනීම් බැහැර කළ නොහැකි දෙයක් බව ද හදිසි මිල දී ගැනීම් අවභාවිතා කිරීම තුළ ඊට ද මඟ ඇහිරී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධානය කරන ලදි.
වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ දේශීය ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කළ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට රජය, විශ්වවිද්‍යාල, වෛද්‍ය වෘත්තිකයන් සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කළ යුතු බව ද කිසිදු ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අවශ්‍ය වෙලාවට ලබාදීමට කටයුතු කළ යුතු බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
මහාචාර්ය සේනක බිබිලේ මහතා ඉදිරිපත් කළ තාක්ෂණික කරුණුවල හරය තේරුමි ගෙන වර්තමානයේ පවතින අභියෝග සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් ෂන්මුගනාදන් සහ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ සභාපති සහ උපදේශක විකිරණවේදී, වෛද්‍ය රූපා කන්නන්ගර යන මහත්ම මහත්මීන් විසින් ද මෙහිදී විශේෂ දේශණ පවත්වන ලදි.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දැක්ම සහ උරුමය ඉදිරියට ගෙන යමින්, දිවයින පුරා විශ්වවිද්‍යාලවල ඖෂධවේදය (Pharmacology) ක්ෂේත්‍රයෙන් විශිෂ්ට දක්ෂතා වෛද්‍ය සිසුන් අතරින් තෝරාගත් දක්ෂතම ශිෂ්‍යයන් 11 දෙනෙකු සඳහා පිරිනමනු ලබන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙවරද සිදු කෙරුණ අතර, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මහාචාර්ය බිබිලේ මහතාගේ අධ්‍යාපනික හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැක්ම සමඟ සම්බන්ධ කරමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, උභයකුල රණවීර, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විද්වතුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ සාමාජිකයන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍ය නියෝජිතයන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.
