ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානාපකිස්තාන ආරක්ෂක පද්ධති මතින් බිම හෙලයි

ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා බිම හෙලීමෙන් ඉන්දියානු ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර දක්වා ඇති බව පකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ෂරීෆ් පවසනවා.

රටේ ආරක්ෂාව සඳහා, හමුදාව සහ ජනතාව, සැමවිටම එක්සත්ව සිටිම අවශ්‍ය බවයි පකිස්තාන අග්‍රාමාත්‍ය ශේබාස් ෂරීෆ් පැවසුවේ. සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඉන්දියානු ජෙට් යානා 5ක් බිම හෙලා ඉන්දියානු ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර ලබා දුන් බවද ඔහු අවධාරණය කර තිබුණා. විනාශ කළ ගුවන් යානා අතර ප්‍රංශයේ නිෂ්පාදිත නවීන බහුකාර්ය ප්‍රහාරක යානා තුනක් මිග්-29 යක් සහ SU-30 ප්‍රහාරක යානයක් ද ඇතුළත් බවයි පකිස්ථාන හමුදාව පවසන්නේ. එහෙත් ඉන්දියානු රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දියාවේ කාශ්මීර දේශසීමාව හරහා පකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්. මේ අතර පකිස්තාන බලධාරීන් පවසන්නේ ඉන්දියානු ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 31 දක්වා ඉහල ගොස් ඇති බවයි.  ඉන්දියානු පකිස්තාන අර්බුදය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කණගාටුව පළ කරමින් එය “ලැජ්ජාවට කරුණක්” බව සදහන් කොට තිබෙනවා.

දශක ගණනාවක් පුරා දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් ඉක්මනින් අවසන් වනු ඇකි බවට බලාපොරොත්තු වන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. කාශ්මීරයේ පෙහෙල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස දකින එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යුදමය ගැටුමක් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය බව සදහන් කරනවා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දෙපාර්ශ්වයම සාමය සහ ස්ථාවරත්වය සඳහා පුළුල් අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියා කරන ලෙසයි.