ඉන්දියාවේ පිපිරීම ගැන කරුණු රැසක් හෙළිවෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල සිදුවූ ප්‍රබල පිපිරීමෙන් මියගිය පිරිස 10 දක්වා ඉහල ගොස් තිබෙනවා.

පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.     

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කරන්නේ, පිපිරීම පිළිබඳ සියලු කරුණු  විමර්ශනය කරන බවයි.   

ඊයේ පස්වරුවේ ඉන්දීය වේලාවෙන් 06:52 ට පමණ රතු බලකොටුව අසල සෙමින් ධාවනය කෙරුණු මෝටර් රථයක් නතර කරනවාත් සමග පිපිරීම සිදුවූ බව ඉන්දීය පොලිසිය පවසනවා. 

එහි පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. සීසීටීවී දර්ශන මගින් පිපිරීම සිදුවූ වාහනය නිරීක්ෂණය කර තිබෙනවා. 

ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ පිපිරීම සිදුවීමට පෙර එම මෝටර් රථය රතු බලකොටුව අසළ රථ ගාලේ පැය කිහිපයක් නතර කර තිබූ බවයි. 

පිපිරීමත් සමග ගින්නක් හටගත් අතර, ඉන් තවත් වාහන රැසක් මුළු මනින්ම විනාශ වී තිබෙනවා.  පිපිරීමත් සමග අගනුවර පුරා විශේෂ පොලිස් කණ්ඩායම් සහ යුද හමුදාව යොදා ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගැනුණා.   

ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල ප්‍රධාන නගර රැසක ආරක්ෂාව තර කිරීමට ද බලධාරීන් කටයුතු කරනු ලැබුවා.  

පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා.

ඔවුන් පුපුරා ගිය හුන්ඩායි අයි 20 මෝටර් රථය හිමිකරුවන් බවයි වාර්තා වන්නේ. එහි රස පරික්ෂණ වාර්තා අධිකරණ විද්‍යා රසායනාගාරය වෙත යොමු කර තිබෙනවා.

පිපිරිම සිදුවී විනාඩි කිහිපයක් ඇතුළත ගිනි නිවන ඒකක සහ ගිලන් රථ පැමිණ තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන ගියා.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු පිපිරුම් ස්ථානයේ සිට සැතපුම් දෙකකටත් අඩු දුරකින් පිහිටි ලොක් නායක් රෝහල වෙත ගෙනැවිත් ඇති අතර රෝහල් පරිශ්‍රය තුළ  ආරක්ෂාවද දැඩි කර තිබෙනවා.  

අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවූ ස්ථානය නිරීක්ෂණය කළා.  පිපිරීමට හේතුව කුමක්දැයි පැවසීම ඉතා අපහසු බවත්.

පිපිරුම් ස්ථානයේ රස පරිෂණ වාර්තා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ ජාතික ආරක්ෂක බළකාය විසින් විශ්ලේෂණය කරන තුරු, කිසිදු නිගමනවලට එළඹීම හැකියාවක් නොමැති බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.  

සංචාරකයින් වැඩි දෙනෙකු පැමිණෙන දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙන්ම රතු බලකොටුව සහ රජයේ ගොඩනැගිලිවලට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා.

හදිසි තත්වයකට මුහුණ දීම සහදා එම ස්ථානවලද ආරක්ෂාව තර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. මියගිය පුද්ගලයින් සම්බධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහා සිය ශෝකය පළ කර තිබෙනවා.