ඊශ්‍රායලය ගැන පිළිකුලෙන්

ගාසා තීරයට ආධාර අපේක්ෂාවෙන් පැමිණෙන සිවිල් වැසියන් ‘අමානුෂික ලෙස ඝාතනය කිරීම’ ගැන එක්සත් රාජධානිය සහ තවත් රටවල් 27 ක් ඊශ්‍රායලයට අප්‍රසාදය පළ කළා.

සිවිල් වැසියන්ගේ දුක් වේදනා ඉතා දරුණු වී ඇති බවයි එම රටවල් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ඊයේ එරට පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.

එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ජපානය, නවසීලන්තය සහ ස්විට්සර්ලන්තය ඇතුළු තවත් රටවල් 27 ක විදේශ අමාත්‍යවරුන් ඊට අත්සන් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ආධාර බෙදා හැරීමේ වැඩපිළිවෙළ භයානක බවයි එම රටවල් අවධාරණය කරන්නේ.

ආධාර ඉතා සුළු ප්‍රමාණයක් ලබාදීම හා සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකින බවද ඔවුන් අවධාරණය කරනවා.

පසුගිය සති අන්තයේ ආහාර ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තැබීම නිසා පලස්තීනුවන් 100 දෙනෙකු පමණ මිය ගියා.

මන්දපෝෂණය හේතුවෙන් ද තවත් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ, සති අටක කාලය තුළ ආධාර ස්ථාන අසල 674 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ආධාර රථ ගමන් ගන්නා මාර්ග‍යේ තවත් ඝාතන 201 ක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසනවා.

ආධාර බෙදාදෙන ස්ථාන විවෘත කිරීමට පෙර “සැකකරුවන්” එම ස්ථානයට ළඟා වීම වැළැක්වීම සඳහා තම හමුදා අනතුරු ඇඟවීමට වෙඩි තැබූ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.