එල්-නිනෝ ගැන බය හිතෙන ආරංචියක්

පුරෝකථනය කර ඇති එල්නිනෝ තත්වය ඉතිහාසයේ ප්‍රබලතම සංසිද්ධියක් වනු ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ පසුගිය වසර 70 තුළ වාර්තාවන ප්‍රබලතම එල්‍නිනෝ තත්වය මෙය බවයි.

පැසිෆික් සාගරයේ උණුසුම වාර්තාගත ලෙස ඉහළයාම හේතුවෙන් මෙම තත්වය ඇතිවනවා.

සාමාන්‍ය එල්නිනෝ තත්වයකදී උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් සිදුවන අතර මෙවර එය අංශක 3 කට වඩා ඉහළ යා හැකි බවයි එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා කාර්යාලය පවසන්නේ.

මෙම තත්වයෙන් දකුණු අමෙරිකානු මුහුදු තීරය ආශ්‍රිතව කුඩා මසුන් සහ ඔස්ට්‍රේලියාවේ කොරල්පර සහ සාගර ‍ජිවින් දැඩි තර්ජනයකට ලක්වනු ඇති.

එල්නිනෝ තත්වයත් සමග කාලගුණ රටාව දැඩි ලෙස වෙනස්වෙමින් පවතිනවා.

දැඩි නියඟය සහ ලැව්ගිණි ඇතිවීමේ අවදානමක් පවතින අතර පැනමා ඇලෙහි ජලය අඩුවීමක්ද අපේක්ෂා කරනවා.

මෙමගින් ගෝලීය ආහාර නිෂ්පාදනය දැඩි ලෙස පහල යන අතර මිලියන 49 කට එහි බලපෑම් එල්ලවනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන පුරෝකථනය කරනවා.