කඳාන වෙසක් පෙරහර නිසා අද රෑ පාරවල් වැසෙයි

කඳාන පොලිස් වසමේ පිහිටි හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහර හේතුවෙන් අද (23) දින රාත්‍රී කාලයේදී කඳාන නගරය ආශ්‍රිතව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද රාත්‍රී 07.00 ට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත මෙම පෙරහර, විහාරස්ථානයේ සිට කඳාන නගරය මධ්‍යයෙන් ගම්පහ – කඳාන මාර්ගයේ සහ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කර නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

ඒ අනුව රථවාහන ධාවනය සීමා වන ආකාරය සහ කාලසීමාවන් පහතින්,

රාත්‍රී 07.00 සිට රාත්‍රී 10.30 දක්වා: ගම්පහ – කඳාන මාර්ගයේ රාගම වැව හන්දියේ සිට කොළඹ – මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා පෙරහැර ගමන් කිරීමට නියමිතයි.

රාත්‍රී 10.30 සිට හෙට (24) අලුයම 01.00 දක්වා: කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා පෙරහැර ගමන් කිරීමට කටයුතු යොදා ඇත.

මේ හේතුවෙන් පෙරහර කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරන කාලසීමාව තුළ, ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල දක්වා කොළඹ දෙසට ගමන් කරන මංතීරු දෙක වසා තැබීමට සැලසුම් කර තිබෙනවා.

මාර්ග කොටස් වසා තබන මෙම කාලසීමාවන් තුළ එම මාර්ග ඔස්සේ ගමන් කිරීමට සැලසුම් කර ඇති රියදුරන්ට, හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.