කපිල චන්ද්‍රසේනගේ දුරකතනය ඇපල් සමාගම වෙත යොමුකිරීමට අවසර ඉල්ලයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත මුදාහැර සිටියදී සැකසහිත ලෙස පසුගියදා මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකතනය ඇපල් සමාගම වෙත යොමුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය, මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ දේශීයව අදාල ජංගම දුරකථනය අගුළු විවෘත කිරීමට නොහැකි බව දන්වමින්.

කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව ‍මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගෙන්, කොළඹ අපරාධ කොට්ඨාශය අද ඉල්ලා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය අන්තර්ජාතික පොලිසිය මගින් ඇපල් සමාගමට යොමුකිරීම සඳහා අවසර දෙන ලෙසයි.

එසේම කපිල චන්ද්‍රසේන මහතාගේ රුධිර සාම්පල ඇතුලු නඩු භාණ්ඩ රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකල බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඉදිරි දින ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර යන අය කැදවීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ.

චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණය පස්වන දිනට අද පෙරවරුවේ කැදවා තිබුණා.