ගාසා නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම් ඇරඹේ

ගාසා නගරය අත්කර ගැනීමේ පළමු අදියර ආරම්භ කර ඇති බව ඊශ්‍රායලය පවසනවා.

ඊශ්‍රායල හමුදා දැනටමත් ගසා නගරයේ මායිම්වලට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගාසා නගරයේ සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීම සඳහා “මූලික ක්‍රියාමාර්ග” ගනිමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන් පවසනවා.

සෙයිටවුන් සහ ජබාලියා ප්‍රදේශවල සිටින ඊශ්‍රායල හමුදා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ගසා නගරය අත්පත් කරගත් පසු එහි ආරක්ෂාවට සහ මෙහෙයුම් සදහා භටයින් 60,000ක් යෙදවීමේ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්ගේ යෝජනාව අවසන් අනුමැතිය සදහා ආරක්ෂක කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා.

සටන් විරාමයකට බාධා කරමින් “සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක්” ලෙසයි හමාස් සංවිධානය මෙය අර්ථ දක්වා ඇත්තේ.

ගසා නගරය ඊශ්‍රායල භාරයට ගැනීමේ සැලසුමට අන්තර්ජාතික සංවිධාන මෙන්ම රටවල් රැසකින් දැඩි විවේචන එල්ල වී තිබුණා.