ගාසා හි යුරෝපීය රෝහලක් ලෙයින් තෙත් වෙයි

ගාසා හි ඛාන් යුනිස් නගරයේ යුරෝපීය රෝහලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් 28 දෙනෙකු මියගිය බවයි හමාස් සංවිධානය පවසන්නේ. විශාල පිරිසක් තුවාල ලැබුවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඛාන් යුනිස් නගරයේ යුරෝපීය රෝහලකට බව හමාස් සංවිධාය පැවසුවද, ඊශ්‍රායල හමුදාව පවසන්නේ රෝහල් භුමිය අභ්‍යන්තරයේ පිහිටුවා ඇත්තේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් බවයි.

එය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර බව ඊශ්‍රායල හමුදාව පවසනවා. හමාස් සංවිධානය හමුදා මෙහෙයුම් සඳහා රෝහල් භාවිතා කරන බවට ඊශ්‍රායලය නගන චෝදනා, හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරනවා.

ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍යට පවසා ඇත්තේ අනතුරු ඇඟවීමකින් තොරව රෝහලට ගුවන් ප්‍රහාර හයක් පමණ එල්ල වූ බවයි.

එහිදී තුවාල ලැබූවන් අතර බීබීසී මාධ්‍යවේදියෙකුද වන බව සදහන්.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානයේ හිටපු නායකයෙකු වන යායා සින්වාර්ගේ සහෝදරයා වන ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නායක මොහොමඩ් සින්වාර් මෙම ගුවන් ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි.

එහෙත්, ඔහු පිළිබඳව හමාස් සංවිධානය හෝ ඊශ්‍රායල හමුදාව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.