ගුරු පත්වීම් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පහසුකම සලසා ඇත.

අදාළ බඳවා ගැනීමට අදාළ කැඳවීම් ලිපිය සමඟ යොමු කළ නිවේදනයට අනුව, පාසල් සඳහා මනාපය පළ කිරීමේ තොරතුරු ඇතුළත් කිරීමේ මාර්ගගත ක්‍රමය මේ වන විට සකස් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, අද (17) දින සිට අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරනු ලබන Teacher recruitment Application system වෙත පිවිස පුරප්පාඩු පාසල් වෙත මනාපයන් පළ කළ හැකිය.

එහිදී තැපැල් මඟින් ඔබට ලැබී ඇති ලිපියේ මුරපදය (OTP) සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කර මෙම පද්ධතියට පිවිසීම සිදුකළ යුතුය.

තැපැල් මඟින් ලිපිය ලැබී නොමැති නම්, එම ලිපිය ලැබෙන තෙක් පද්ධතියට පිවිසීමට හැකියාවක් නොමැත.

ලිපි ලැබීමේ ප්‍රමාදයක් හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපිය මෙතෙක් ලැබී නැති නම් ඒ පිළිබඳ කලබල නොවන ලෙස අමාත්‍යාංශය දන්වා සිටියි.

පද්ධතියට ඇතුළත් වීමට නොහැකි වන අයදුම්කරුවන්ට අදාළ සම්මුඛ පරීක්ෂණ දිනය දක්වා එම පද්ධතියට පිවිසීමට නිරන්තරයෙන් අවස්ථාව සලසන බවත්, එදින වන විට ලිපි නොලද අයදුම්කරුවන් වෙත පාසල් සඳහා මනාපය පළ කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ දිනයේදී අදාළ පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.