ජනපති මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිස ලෙස එක් වී සිටි බවයි වාර්තා වන්නේ.

මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්ය.