ට්‍රම්ප්ගෙන් කැනඩාවට 50%ක තීරුබද්දක්

අමෙරිකානු මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මත්පැන් සඳහා කැනඩාවෙන් අමෙරිකාවට අසාධාරණ ලෙස සලකන බව පවසමින්, එරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ රැසකට සියයට 50 තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර වෙළඳ අර්බුදය උත්සන්න කරමින් ක්‍රියාත්මක වන මෙම නව තීරුබදු පැනවීම ඉදිරි දින 30 ඇතුළත බලාත්මක වන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපය තුළ ඇමෙරිකාව සමග පවතින වෙළඳ සාකච්ඡා තවදුරටත් තීව්‍ර කිරීමට තමන් සූදානම් බව කැනඩා අගමැති මාක් කානි පවසනවා.

නව තීරුබදු යටතේ කැනඩාවෙන් ආනයනය කරන වයින්, හොකී පිති වැනි එදිනෙදා පාරිභෝගික භාණ්ඩ සහ සිමෙන්ති වැනි කාර්මික නිෂ්පාදන ඉලක්ක කර ඇති නමුත් බලශක්තිය, පොටෑෂ් සහ අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය වැනි ප්‍රධාන අපනයන කිහිපයක් මෙයින් නිදහස් කර තිබෙනවා.

මෙම ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගය, දෙරට අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම සෘජුවම උල්ලංඝනය කිරීමක් බව පවසන කැනඩා අගමැතිවරයා, මෙය කැනඩාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක් ලෙසද හඳුන්වා දෙනවා.

මීට පෙරද කැනේඩියානු වානේ, ඇලුමිනියම් සහ දැව නිෂ්පාදන සඳහා ඇමෙරිකාව සියයට පහළොවේ සිට සියයට පනහ දක්වා බදු පනවා තිබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස කැනඩාවද අමෙරිකානු භාණ්ඩ සඳහා සියයට විසිපහක ප්‍රති-තීරුබද්දක් පනවා තිබෙනවා.

කැනඩාවේ කිරි නිෂ්පාදන සීමා කිරීමේ ප්‍රතිපත්තිය සහ ඇමෙරිකානු මත්පැන් වර්ජනය කිරීම සම්බන්ධයෙන් පවතින මතභේද මෙම වෙළඳ අර්බුදයට ප්‍රධාන හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.