තැන තැන සිදුවූ මාරක අනතුරු

දිවයින පුරා සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය (08) වන දින රාත්‍රී වෙන්නප්පුව පොලිස් වසමේ බෝලවත්ත හා බොරලැස්ස දුම්රිය ස්ථාන අතර ඇති දුම්රිය හරස් මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 41 ක් වූ ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම දංකොටුව, සුමගි හන්දිය මැටිකොටුව අතුරු මාර්ගයේ සුමගි හන්දිය ආසන්නයේදී ඊයේ (09) දින උදෑසන සුමගි හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එකවරම මාර්ගය හරහා ගමන් කල සුනඛයාගේ ගැටීම වැලැක්වීමට උත්සහ කිරීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියැදුරු දංකොටුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 64 ක් වූ වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිකවැරටිය කුරුණෑගල මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේදී ඊයේ (09) දින උදෑසන කරුණෑගල දෙසට ධාවනය වූ ඇගළුම් කාර්මාන්තයක සේවකයන් රැගත් බස් රථයක් එක් වරම දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා පසුපැදිකාරිය නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් ඇත.

මරණකාරිය අවුරුදු 52 ක් වූ මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මුලතිව් පොලිස් වසමේ මුලතිව් පුදුකුඩිඉරුප්පු මාර්ගයේ කිලෝමීටර් 46 කණුව ආසන්නයේදී ඊයේ (09) දින රාත්‍රී පුදුකුඩිඉරුප්පු දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මාන්චෝලේ රෝහලට ඇතුලත් කරන විටත් පසුපැදිකරු මියගොස් සිට ඇත.

මරණකරු අවුරුදු 18 ක් වූ සිවනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරු සම්බන්දයෙන් පොලිසිය විමර්ශන කරනවා.