දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන තවත් අනාවරණයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක බහුදින ධිවර යාත්‍රා දෙකක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ සැකකරුවන් 11 දෙනෙකු සමගයි.

පොලිසියෙන් ලද තොරතුරකට අනුව නාවික හමුදාව ශ්‍රි ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු ‍මුහුදේ දිගු දුර නෞකා යොදාගනිමින් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කෙරුණු බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදාව සඳහන් කළේ, අනතුරුව තවදුරටත් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරුණු බවට සැක තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු සිය භාරයට ගත් බවයි.

එම බහුදින යාත්‍රා තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් හා සන්නිවේදන උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

මේ පිළිබඳ නෛතික කටයුතු සඳහා බහුදින ධීවර යාත්‍රා දෙක සමග සැකකරුවන් ගොඩබිම වෙත රැගෙන එමින් පවතිනවා.