දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි ආරක්ෂකයා නිරුපද්‍රිතව මුදාගනී

වෙනිසියුලාවේ පසුගියදා සිදුවූ ද්විත්ව භූකම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් පුරා සිරවී සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ටොන් 140කට අධික සුන්බුන් ප්‍රමාණයකට යටවී සිටි හර්නන් ගිල් නමැති මෙම ආරක්ෂක නිලධාරියා මුදාගෙන ඇත්තේ ඔහු සිටින ස්ථානය හඳුනාගෙන පැය 100කට අධික කාලයක් මුළුල්ලේ දියත් කළ දැවැන්ත මෙහෙයුමකින් පසුවයි.

කැටියා ලා මාර් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයකට අනුබද්ධ රථ ගාලක බිම් මහලේ පිහිටි කුඩා කොන්ක්‍රීට් කුටියක් තුළ මොහු සිරවී සිට ඇති අතර, එම කුටිය ආරක්ෂිත කවරයක් ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් ඔහුට කිසිදු සීරීමක් හෝ සිදුවී නොමැති බව සහන සේවකයින් පවසනවා.

වෙනිසියුලාව, චිලී රාජ්‍යය, කොස්ටාරිකාව සහ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක සහන කණ්ඩායම් එක්ව අතිශය දුෂ්කර හා අවදානම් සහගත මෙහෙයුමක නිරත වෙමින් මෙම පුද්ගලයා මුදාගෙන තිබෙනවා.

සුන්බුන් අතරින් ඇසුණු දුර්වල කෙඳිරිලි හඬක් ඔස්සේ මොහු සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර, බේරාගන්නා තෙක් ඔහුට ජලය සහ ඖෂධ ලබාදීමටද පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 24 වැනිදා වෙනිසියුලාවට බලපෑ මෙම භූකම්පන හේතුවෙන් පුද්ගලයන් 2,300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දසදහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.