”දිළිඳුකමෙන් තොර, සමාජ සාධාරණත්වය තහවුරු වූ, සෑම පුද්ගලයකුටම ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවන රටක් ගොඩනැඟීම අපගේ අරමුණයි”

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

”දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අද (17) වැනිදාට යෙදී තිබේ. වර්තමානයේ දිළිඳුකම බහුමාණ දරිද්‍රතාවය ලෙස අර්ථකතනය කරනු ලබන අතර එය මුදල් නොමැතිකම පමණක් නොව, ආහාර, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති නොහැකියාව මෙන්ම ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අවස්ථා, සම්පත් සහ සමාජ සහභාගීත්වය අහිමි වීම ද ඇතුළත් පුළුල් සමාජීය හා ආර්ථික තත්ත්වයකි.

දිළිඳුකම තුරන් කිරීම වර්තමාන ජාතික ජන බලවේගය රජයේ ප්‍රමුඛතම අරමුණකි. දිළිඳුකමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමෙන් පමණක් නොව, ඔවුන්ගේ ආර්ථික හා සමාජීය ශක්‍යතාවන් වර්ධනය කරමින්, ස්වයං රැකියා සහ ආදායම් උත්පාදන අවස්ථා පුළුල් කරමින්, තිරසර ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම හා දිළිඳුකම යන සමාජීය ඛේදවාචකය අප පරම්පරාවෙන් අවසන් කිරීම ජාතික ජන බලවේගය රජයේ ප්‍රතිපත්තියයි.

ඒ අනුව, දිළිඳුකම තුරන් කරමින් ජනතාව සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ලෙස “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන, ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ක්‍රියාකාරකම් තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

“ප්‍රජා ශක්ති” වැඩසටහනට පමණක් 2026 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර ඇති අතර දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන වැඩසටහනක් හෝ ක්‍රියාත්මක කරමින්, ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා පුළුල් මැදිහත්වීමක් සිදු කරනු ලබයි.

දිළිඳුකම පිටුදැකීම රජයකට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ප්‍රජාව ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම, දිළිඳුභාවයට බලපාන මූලික හේතු හඳුනාගෙන, ඒවාට දිගුකාලීන විසඳුම් ලබාදීම මෙන්ම, කිසිදු පුද්ගලයකු හෝ පවුලක් සමාජයේ සංවර්ධන ප්‍රවාහයෙන් බැහැර නොවන පරිදි කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීමකි.

දිළිඳුකමෙන් තොර, සමාජ සාධාරණත්වය තහවුරු වූ, සෑම පුද්ගලයකුටම ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවන රටක් ගොඩනැඟීම අපගේ අරමුණයි. ඒ සඳහා ජනතාවගේ සහභාගිත්වය සහ සාමූහික කැපවීම ශක්තියක් කර ගනිමින්, දිළිඳුකම තුරන් කිරීමේ ජාතික මෙහෙවර සාර්ථක කර ගැනීමට අපි එක්ව කැපවෙමු.”