නිකෝපෝල් වෙළෙඳපොළ ඉලක්ක කර රුසියාවෙන් ප්‍රහාරයක් – 5ක් මරුට

දකුණුදිග යුක්‍රේනයේ නිකෝපෝල් නගරයේ වෙළෙඳපොළක් ඉලක්ක කරගනිමින්, රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව, යුක්‍රේන බලධාරීන් තහවුරු කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යුද අපරාද විමර්ශන ආරම්භ කර ඇති බව එරට නීතිපති කාර්යාලය පවසනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් 14 හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට නිරන්තරයෙන් ප්‍රහාරට ලක්වන නිකොපෝල් නගරයේ මෙම වෙළෙඳපොළ ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ, සෙනසුරාදා පෙරවරුවේ ජනතාවගෙන් පිරී තිබූ අවස්ථාවකදී.

පළමු ප්‍රහාරයෙන් පසු සහන සේවා ක්‍රියාත්මක වූ ස්ථානයටම රුසියාව යළිත් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් වෙළෙඳසැල් රැසකට දැඩි හානි සිදුව ඇති බවත් ප්‍රාදේශීය බලධාරීන් කියා සිටිනවා.

රුසියාවේ දකුණුදිග නගරයක් වන “ටැගන් රොග්” වෙත යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරයකින්, පුද්ගලයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

යුක්‍රේන බලධාරීන් පෙන්වා දෙන්නේ තම ඩ්‍රෝන ප්‍රහාර මගින් රුසියාවේ කාර්මික කලාප වෙත සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කළ බවයි.

සටන් පෙරමුණේ රුසියාව ඉදිරි ගමන මන්දගාමී වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලැබුණ ද දහවල් කාලයේ මෙලෙස සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වන දරුණු ප්‍රහාර ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.