ලෝකයේ පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රථම පුවත් නාලිකාව වන CNN නාලිකාවේ නිර්මාතෘ සහ සුප්‍රකට මාධ්‍ය ව්‍යවසායක ටෙඩ් ටර්නර් අමෙරිකාවේ දී ඊයේ මියගොස් තිබෙනවා.
ඔහුගේ වයස අවුරුදු 87 ක්. ඔහු ගෝලීය රූපවාහිනී පුවත් කලාව ප්‍රබල වෙනසකට ලක් කළ දූරදර්ශී පුද්ගලයෙකු ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.
අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ උපත ලබා ඇට්ලන්ටා නගරය කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාරික කටයුතු මෙහෙයවූ ඔහු, CNN නාලිකාවට අමතරව කාටූන් සහ චිත්‍රපට සඳහා වූ ජනප්‍රිය නාලිකා රැසක් ද බිහිකළා.
තවද, ව්‍යාපාරිකයෙකුට අමතරව පරිසර හිතකාමියෙකු ලෙස ද ප්‍රකටව සිටි ටර්නර්, එක්සත් ජාතීන්ගේ පදනම පිහිටුවමින් මෙන්ම න්‍යෂ්ටික අවි තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් විශාල මානුෂීය මෙහෙවරක නිරත වූ පුද්ගලයෙක්.
ලොව පුරා ඕනෑම මොහොතක සිදුවන පුවත් සජීවීව සහ එසැනින් ජනතාව වෙත සමීප කිරීමට ඔහු දැරූ නිර්භීත උත්සාහය, වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට මගපෑදුවා.
1991 වසරේදී ටයිම් සඟරාව ටෙඩ් ටර්නර් වසරේ විශිෂ්ටතම පුද්ගලයා ලෙසද නම් කෙරුණා. රටවල් 150ක ප්‍රේක්ෂකයන්ට ඉතිහාසය නිර්මාණය වන මොහොතේදීම එය සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව සලසා දීම හේතුවෙන් ඔහු මෙලෙස ඇගයීමට ලක් වූ බව සඳහන්.
ටර්නර්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරන CNN ආයතනයේ වත්මන් ප්‍රධානීන් ඇතුළු ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන්නේ, නවීන රූපවාහිනී මාධ්‍ය කලාව ගොඩනැගීමට ඔහු ලබාදුන් දායකත්වය සදානුස්මරණීය වන බවයි.
සිය අසමසම මෙහෙවර අවසන් කරමින් සමුගන්නා ටෙඩ් ටර්නර් ලෝක පුවත් කලාවේ නොමැකෙන සලකුණක් තබා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
