මඩකළපුව කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුවට කඩිනම් විසඳුම් 

මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව දිගුකාලීනව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් හා ස්ථිර විසඳුම් ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සහ මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති අතර, එහිදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන් මයිලත්තමඩු–මඩුවම් ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ තණබිම් ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

සාම්ප්‍රදායිකව කිරි ගොවීන් ගවයන් සඳහා භාවිත කළ මෙම තණබිම් ආශ්‍රිතව වගා කටයුතු සිදුකිරීම හේතුවෙන් ගැටලු මතුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මට්ටමින් තීරණයක් ගෙන ඇති බවත්, අදාළ ප්‍රදේශය නිශ්චිත තණබිම් ප්‍රදේශයක් ලෙස නම් කර මහවැලි අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාව මත ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව කිරි ගොවීන්ගේ තණබිම් අවශ්‍යතාව තහවුරු කිරීමටත්, අනෙකුත් පාර්ශ්ව සඳහා මහවැලි ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබාදීමටත් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, සියලු ජන කොටස්වල අයිතිවාසිකම් හා සුරක්ෂිතභාවය තහවුරු කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීම රජයේ අරමුණ බවද අවධාරණය කළා.