මහියංගන රිදීමාලියද්ද විද්‍යාලයට රු. ලක්ෂ 798ක නව ක්‍රීඩාංගණයක්

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව මහියංගන රිදීමාලියද්ද විද්‍යාලයේ අංගසම්පූර්ණ නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ (10) අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

දිවයින පුරා සක්‍රීය ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරමින් ග්‍රාමීය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසීමට අවස්ථාව උදාකර දීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මෙම නව ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 798 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය හරහා දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමටත්, කලාපීය ක්‍රීඩා පහසුකම් ඉහළ මට්ටමකට ඔසවා තැබීමටත් රජය අපේක්ෂා කරනවා.

මෙම මුල්ගල් තැබීමේ උත්සවය සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.