මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක දැවැන්ත දඩයක්

ළමයින්ට සිදුවන අනතුරු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අපොහොසත් වීම නිසා මෙටා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 567ක දඩයක් පැනවීමට නිව් මෙක්සිකෝ අධිකරණයක් නියෝග කර තිබෙනවා.

මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය දැවැන්තයෙකුට එරෙහිව ලබා දුන් විශාලතම තීන්දුව ලෙසයි සැලකෙන්නේ. මෙම නියෝගයත් සමඟ අදාළ නඩුවට අදාළව මෙටා සමාගමට ගෙවීමට සිදුවන මුළු දඩ මුදල ඩොලර් මිලියන 942 දක්වා ඉහළ යයි.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ ත්‍රෙඩ්ස් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ ඇල්ගොරිතම මගින් ළමයින් නුසුදුසු අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු කර ඇති බවට නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීතිපතිවරයා පවරා තිබූ නඩුවකට අදාළව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් ප්‍රකාශ කරන්නේ මෙටා සමාගමේ ක්‍රියාකලාපය මහජන පීඩාවක් බවත්, එය වායු දූෂණයකට සමාන වන බැවින් අනාගත හානි අවම කිරීමේ අරමුදලකට මෙම මුදල් බැර කළ යුතු බවයි.

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පාරිභෝගික ආරක්ෂණ නීති පද්ධතිය මෙටා සමාගම විසින් දිගින් දිගටම උල්ලංඝනය කර ඇති බව එහිදී වැඩිදුරටත් අනාවරණය වන අතර, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි මෙටා සමාගම මීට පෙර සඳහන් කර සිටියේ.