මොස්කව් අහස සලිත කළ ඩ්‍රෝන වැස්ස

රුසියානු මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් යුක්‍රේනය එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවකට සාර්ථකව මැඩපැවැත්වීමට රුසියානු ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා.

පසුගිය පැය 24ක කාලය තුළ මොස්කව් නගරය දෙසට පැමිණි ඩ්‍රෝන යානා 84ක් ඇතුළුව, සමස්ත කලාපය පුරා පැමිණි ඩ්‍රෝන යානා 300කට අධික සංඛ්‍යාවක් විනාශ කිරීමට තම ආරක්ෂක පද්ධති සමත් වූ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරාත්මක තත්ත්වය හමුවේ මොස්කව් නුවර ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරය අතරතුර මොස්කව් අවට කලාපයේ පිහිටි ප්‍රධාන චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයකට ද තමන් ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරනවා.

මේ අතර, රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් පියෙකු සහ පුතෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොස්කව් නුවර පිහිටි එකම තෙල් පිරිපහදුව ඉලක්ක කරගනිමින් පසුගිය සතියේ එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පසුව, දෙපාර්ශ්වය අතර පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.