යාපනයේ භූගත ජල කළමනාකරණ ඒකකය ස්ථාපිත කිරීම අද

උතුරු අර්ධද්වීපයේ පානීය හා කෘෂිකාර්මික පැවැත්මේ ප්‍රධානතම ජීවනාලිය වන භූගත ජල සම්පත විද්‍යාත්මකව කළමනාකරණය කර සුරැකීමේ අරමුණින්, යාපනය කේන්ද්‍ර කරගනිමින් නව භූගත ජල කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම අද (16) පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

නව රජයේ ‘තිරසර දියවර’ ජාතික වැඩසටහනට සමගාමීව, ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් මෙම මුලපිරීම සිදු කෙරේ.

දිවයිනේ මතුපිට මෙන්ම භූගත ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම, ජල තත්ත්ව නිරන්තර අධීක්ෂණයට ලක් කිරීම සහ අනාගත පරපුර උදෙසා ජල සම්පත තිරසර අයුරින් භාවිතයට ගැනීම තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරය වේ.

යාපනයේ ජනතාවට සුරක්ෂිත පිරිසිදු පානීය ජලය තහවුරු කරමින්, කෘෂිකර්මාන්තයට ද ශක්තියක් වෙමින් උතුරේ ජල අර්බුදයට තිරසාර පාරිසරික විසඳුමක් එක් කිරීමට මෙම නව කළමනාකරණ ඒකකය මඟ පාදනු ඇත.