යේමනයේ ඒඩන් නුවර පිහිටි ජනාධිපති මන්දිර පරිශ්රයට හූති සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්රහාරයකින් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ප්රහාරය එල්ල වී ඇත්තේ යේමන රජයේ හමුදා සහ සෞදි අරාබිය ප්රමුඛ සන්ධානය භාවිත කරන අල්-මාෂික් මන්දිර පරිශ්රයේ පිහිටි හමුදා මෙහෙයුම් මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින්.
ප්රහාරය සිදුවන අවස්ථාවේ යේමන අග්රාමාත්යවරයා ද එම පරිශ්රයේ සිට ඇති අතර, ඔහුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වනවා.
යේමනයේ සෞඛ්ය අමාත්ය කාසිම් බුහයිබේ පවසන්නේ මියගිය සහ තුවාල ලැබූවන් අතර ආරක්ෂක රාජකාරියේ නිරත පුද්ගලයන් මෙන්ම සිවිල් සේවකයන් ද සිටින බවයි.
ප්රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යේමන අග්රාමාත්ය ෂයා අල්-සින්දානි එය හෙළා දැක තිබෙනවා.
සිවිල් ස්ථාන සහ ජනතාව ඉලක්ක කර ගැනීම හූති සටන්කාමීන්ගේ අඛණ්ඩ ක්රියාකලාපයක් බවට ද ඔහු චෝදනා කරනවා.
ප්රහාරයෙන් තම හමුදා මෙහෙයුම් අඩාල කළ නොහැකි බවත්, ඒඩන් නගරය යේමනයේ තාවකාලික අගනුවර ලෙස තවදුරටත් පවතින බවත් යේමන රජය කියා සිටිනවා.
පසුගිය කාලසීමාවේ සටන් විරාමය බිඳ වැටීමෙන් පසු හූති සංවිධානය සහ යේමන රජයේ හමුදා අතර පවතින ගැටුම් මේ වන විට දැඩි ලෙස උග්ර වී ඇති බව සඳහන්.
