ලාංකිකයින් රැගත් බස් රථයක් ඊශ්‍රාලයේදී ගිනි ගනී

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ ගිනිගැනීමකට ලක්වු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

අනතුරින් කිසිවෙකුටත් බරපතල හානියක් සිදුවි නොමැති බවට ඔහු තහවුරු කරන්නේ.

ඊශ්‍රායලයේ කර්යාට් මලාකි ප්‍රදේශයට ආසන්නයේ ඊයේ පෙරවරුවේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයින් විසිදෙනෙකු රැගත් බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

බස් රථය ගිනිගැනීමට ලක්වු අවස්ථාවේ එහි දොර අවහිර වීම හේතුවෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස බස් රථයේ ජනෙල් කඩා ඉන් ඉවත්වීමට සමත්ව ඇති බවයි ඔහු කියා සිටියා.

අනතුරින් පාදයක් තුවාල වු එක් අයෙකු මේ වනවිට රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බවද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

මේ පිළිබඳව විවිධ පුවත් මේ වනවිට ප්‍රචාරය වෙමින් පැවතියද තුවාල වු තරුණයාට බරපතල අනතුරක් සිදුවි නොමැති බවට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කර සිටියා.

අනතුරට මුහුණ පෑ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියා.

තුවාල වු තරුණයා හැර අනෙකුත් පිරිස මේ වනවිට තම දෛනික කටයුතු වල සාමාන්‍ය පරිදි නිරතව සිටින බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.