ලෝකවාසී සියලුම ආදරණීය පියවරුන්ට සහ උතුම් වූ පීතෘත්වයට පිදෙන ලෝක පියවරුන්ගේ දිනය අදයි.
ජීවිතය ලබා දී, ජීවිතය කියා දී, පවුලකම බර කර මතට ගෙන දරුවන්ගේ සිහින සැබෑ කිරීමට වෙර දරන, සංසාරයේ මුණගැසුණු නිහඬ ආදරවන්තයා තාත්තා.
ශ්‍රී ලාංකේය අපට නම් දෙමාපියන් වෙනුවෙන් වෙන් වූ දින සැමරීම් එතරම් සුපුරුදු දෙයක් නෙමෙයි.
එසේ වුවත් අද වනවිට සමස්ත ලෝකයම එම සුවිශේෂී දිනය සිය සංස්කෘතීන්ට එක් කොටගෙන තිබෙනවා.
තම මවට, පියාට සැලකීම ඇතැමුන්ට අමතක වී යන යුගයක මේ අයුරින් මහ මෙරක් තරම් වූ ඔවුන්ගේ ගුණ මහිමය ලොවට කියා පෑමට දිනයක් වෙන්වීම විශේෂත්වයක්.
ලොව පුරා රටවල් රැසක ජනතාව සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනය මේ සඳහා වෙන් කොට ගෙන තිබෙනවා.
පියවරුන්ගේ දිනය සැමරීම මුලින්ම 1910 වසරේදී අමෙරිකාවෙන් ආරම්භ වූ බවයි ඉතිහාසයෙන් කියවෙන්නේ.
1916 දී පමණ අමෙරිකාවේ ජනාධිපතිව සිටි වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කළ බව සඳහන්.
ඒ අනුව එදා මෙදාතුර ලොව බොහෝ රටවල් අද දිනය ලෝක පියවරුන්ගේ දිනය ලෙස සමරනු ලැබුව ද තවත් සමහර රටවල් එම දිනය සමරනු ලබන්නේ නොවැම්බර් 19 වැනි දිනයි.
තවත් රටවල් තමන් විසින්ම තෝරාගන්නා විවිධ දිනයන් උතුම් වූ පීතෘත්වය ඇගයීමට වෙන් කරගෙන තිබෙනවා.
පියවරුන්ගේ දිනය නිමැවුනේ, මව්වරුන් සහ මාතෘත්වයට ප්‍රණාමය පුද කිරීම සඳහා සැමරෙන දිනයක් වන මව්වරුන්ගේ දිනයට පරිපූරක දිනයක් ලෙසයි.
කෙසේ වෙතත්, අද දිනට යෙදෙන ලෝක පියවරුන්ගේ දිනය, ලෝකයක් ජීවත් කළ පිය සෙනෙහසේ මහිමයට, උපහාරයක්ම වේවා.
