වියට්නාම ජනපති පාර්ලිමේන්තුවට

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා, රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රි දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකාව සහ වියට්නාම් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ සිදු කළ එරට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනාවට අනුවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයට පෙරවරු 11.05 ට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයාව, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා සහ ගරු කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති ගරු අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වනු ඇත.

මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.

අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා ගරු කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගන්නා අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.

වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යවරිය සහ ගරු විපක්ෂ නායකතුමා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත.