ශ්‍රී ලන්කන් හිටපු CEO මියයයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කළා.

එමෙන්ම ඔහුට ඇප ලබා දීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කරනු ලැබුවා.

කපිල චන්ද්‍රසේන මහතාට පසුගියදා ඇප නියම කෙරුණු අතර ඔහු ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස, අල්ලස් කොමිසම අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ, මෙම සැකකරු රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ශරීර ඇපය තැබීම සඳහා රුපියල් පහළොස් දහස බැගින් මුදල් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඇපකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ක්‍රියාව තුළින් සැකකරු අධිකරණය විසින් තමන්ට නියම කළ ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණ‍ය හමුවේ කරුණු දක්වනු ලැබුවා.

ඒ අනුව 1997 අංක 30 දරන ඇප පනතේ, 14(1) සහ 14(3) යන වගන්ති යටතේ සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය යටතේ මෙම සැකකරු නඩුව අවසන් වන තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාර කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.