ශිරන්ති රාජපක්ෂ හදවත් සැත්කමට මුහුණ දෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස නියෝගයක්

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අවස්ථාවේදී විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය මේ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින බවත් එය සූවිශේෂි කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවයි.

ඒ අනුව මෙම නඩු කරය පස්වරු 2.00 ට කැදවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.