නිව්යෝර්ක් ප්‍රාන්තයේ පෙම්බ්‍රෝක් නගරය ආසන්නන්යේදී සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් 30 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථයේ ගමන් කර ඇත්තේ ඉන්දියාව, චීනය සහ පිලිපීනය යන රටවලින් පැමිණි සංචාරකයින්. ඔවුන් නයගරා දියඇල්ල නැරඹීමෙන් පසු යළිත් නිව්යෝර්ක් නගරය වෙත පැමිණෙමින් සිටියදී, පෙම්බ්‍රෝක් නගරයට ආසන්නව බස් රථය අගලකට පෙරළී ගොස් තිබෙනවා.
සංචාරක බස් රථයේ සිටි පුද්ගලයින් විවිධ වයස් කාණ්ඩවලට අයත් බවයි වාර්තා වන්නේ. මියගිය පස් දෙනාම වැඩිහිටියන් බවයි ප්‍රාන්ත බලධාරීන් මාධ්‍යයට තහවුරු කර ඇත්තේ. බොහෝ දෙනෙක් සිය ආසන පටි පැළඳ නොසිටි බවත්, අනතුර සිදුවනවාත් සමගම ඇතැම් පුද්ගලයින් බස් රථයෙන් ඉවතට විසි වී ඇති බවත් එරට හදිස්සි සේවාවන් පවසනවා. සංචාරක බස් රථයට දැඩි ලෙස හානි වී තිබෙනවා.
සිර වී සිටි මගීන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් පැය ගණනාවක් වෙහෙසී කටයුතු කළ බව ප්‍රාන්ත බලධාරින් පවසනවා. අනතුරට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින අතර යාන්ත්‍රික දෝෂ හෝ රියදුරු මත්පැන් පානය කර නොමැති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. බස් රථයේ රියදුරු, අනතුරින් සුළු තුවාල ලබා සිටින බැවින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ප්‍රාන්ත පොලිසිය පවසනවා. පුද්ගලයින් 30 දෙනෙකු ප්‍රාදේශීය රෝහල් වෙතට රැගෙන ගොස් තිබෙනවා. බරපතල තත්වයේ සිටින රෝගීන් දෙදෙනෙකු ඇතුළුව තවත් හය දෙනෙකුට ප්‍රතිකාර සඳහා රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගුවන් මගින් රැගෙන ගිය බවයි වෛද්‍ය අංශ පවසන්නේ.
