සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට කටයුතු සූදානම් කර ඇත‍.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා ආයතනවල රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ එළඹෙන 2026 ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025.08.31 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.

මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබනුයේ ඉහත විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයදුම්කරුවන් පමණි.

ඒ අනුව සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් වෙත කැඳවීම් ලිපි ලියාපදිංචි තැපෑල මඟින් යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කිරිමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පිළිබඳව ප්‍රමුඛ අවධානය යොමු කරමින් සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකු පසුගිය ජනවාරි මාසයේ දී බඳවා ගනු ලැබූ අතර, මෙම බඳවා ගැනීම එහි දෙවන කණ්ඩායමයි.

සම්මුඛ පරික්ෂණ අවසන් වූ වහාම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.