බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක පිහිටි අධ්‍යයන මධ්‍යස්ථානයක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවියන් හත් දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දින කිහිපයක සිට ඇදහැලෙන දැඩි මෝසම් වැසි හේතුවෙන් කොක්ස් බසාර් වෙරළබඩ නගරයේ පිහිටි මෙම තාවකාලික පාසල් කුටිය මෙලෙස මඩ සහ සුන්බුන්වලට යටවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී පාසල තුළ කොපමණ පිරිසක් සිටියේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර, ප්‍රදේශවාසීන් සහ සහන කණ්ඩායම් එක්ව වහාම දැවැන්ත සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එහිදී මඩට යටවී සිටි පුද්ගලයින් දහතුන් දෙනෙකු බේරාගැනීමට සහන සේවකයින් සමත්ව ඇති නමුත්, ඉන් අට දෙනෙකු ඒ වන විටත් මියගොස් සිටි බවයි සරණාගත සහන සහ නැවත පදිංචි කිරීමේ කොමසාරිස් මොහොමඩ් මිසානූර් රහමන් මහතා තහවුරු කරන්නේ.
මියගිය දරුවන් වයස අවුරුදු හතත් දොළහත් අතර පසුවන්නන් බව ප්‍රාදේශීය නිලධාරීන් පවසනවා. අනතුරෙන් බේරුණු අනෙක් දරුවන් පස් දෙනා මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සරණාගතයින් මිලියනයකට අධික පිරිසක් ලොව විශාලතම සරණාගත ජනාවාසය වන මෙම කොක්ස් බසාර් කලාපයේ ජීවත්වනවා.
ඔවුන්ගෙන් බහුතරයක් කඳු බෑවුම්වල උණ බම්බු යොදා සකස් කළ අවදානම් සහගත තාවකාලික නිවාසවල වෙසෙන අතර, ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් සිදුවූ වෙනත් නායයෑම්වලින් ද තවත් සරණාගතයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීන් කියා සිටිනවා.
ඉදිරි දිනවලදී ද තවදුරටත් දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, නායයෑම් සහ ගංවතුර අවදානම හේතුවෙන් ඉහළ අවදානම් කලාපවල සිටින පවුල් කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටිනවා.
