කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය මංසන්ධිය ආසන්නයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙක්.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට මෙම යතුරුපැදිය ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී ඇති අතර, ඉන් අනතුරුව පාලනයෙන් ගිලිහී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේද ගැටී ඊට යටවී තිබෙනවා.
බස් රථයේ සහ ලොරි රථයේ යන වාහන දෙකේම යතුරුපැදිය එකවර ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.
