ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (03) දින උදෑසන පොල්පිටිය පොලිස් වසමේ මොරහේනගම ප්‍රදේශයේ නිවසක් නාය යෑමට ලක්වීම හේතුවෙන් නිවස තුල සිටි කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකාරියන් දෙදෙනෙකු අවුරුදු 47 සහ 83 වයස්වල පසු වූ මොරහේනගම එම නිවසේ පදිංචිකාරියන් වන අතර අනෙක් මරණකරු අවරුදු 22 හා මරණකාරිය අවුරුදු 58 ක් වූ මාතලේ ප්‍රදේශයේ සිට පැමිණි ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු බවට හදුනාගෙන ඇත.

යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශවාසීන් හා එක්ව පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙහෙයුමක් සිදුකර මෘත ශරීර සොයාගෙන තිබෙනවා.

ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයට ඊයේ (03) දින හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවට ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 45 ක් වූ අඹගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (03) දින සවස වටවල, ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 53 ක් වූ වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාවලපිටිය, සෝලංකන්ද ජනඋදාන ගම්මානයේදී ඊයේ (03) දින අළුයම පස් කන්දක් වෙළඳසැලකට කඩා වැටී එයට යටවී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 67 ක් වූ සෝලංකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම වෙළඳසැලේ සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


මෙම අනතුරු සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.