මන්නාරම, ධීවර ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට සෘජුවම සවන් දී ඒවාට ස්ථිර විසඳුම් ලබාදීමේ අරමුණින්, මන්නාරම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මීට පෙර පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණවල ප්‍රගතිය සමාලෝචනය කරමින් ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී, දිස්ත්‍රික්කයේ ධීවර සමිති සම්මේලන මගින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණා.

විශේෂයෙන්ම හදිසි විසඳුම් අවශ්‍ය වන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා, නිලධාරීන් සහ ධීවර නියෝජිතයන් සමඟ පුළුල් සාකච්ඡාවක නිරත විය.

මන්නාරම දිසාපති කේ. කනගේශ්වරන් මහතා විසින් සාකච්ඡාවේ අරමුණ සහ මන්නාරම ධීවරයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු පිළිබඳව පැහැදිලි කරන ලදී.

මෙහිදී මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නැංවීමේ සංවර්ධන පියවර, ධීවර ප්‍රජාවේ ජීවනෝපාය අභියෝග සහ ඊට අදාළ විසඳුම් කෙරෙහි අවධානය යොමු විය.

මන්නාරම මුහුදු සීමාවට ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු නීති විරෝධී ලෙස ඇතුළු වී පතුල සූරන පන්න ක්‍රමය (Bottom Trawling) භාවිත කිරීම නිසා සාගර සම්පත් මෙන්ම මත්ස්‍ය අභිජනන ප්‍රදේශද විනාශ වන බව ධීවරයෝ පෙන්වා දුන්හ.

විශේෂයෙන්ම කොරල්පර, මුහුදු තණකොළ සහ සාගර ජීවීන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ වන බවත්, සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවල මෙම නීති විරෝධී කටයුතු සිදුවීම නිසා එම දිනවල දේශීය ධීවරයන්ගේ ආදායමට දැඩි බලපෑම් එල්ල වන බවත් ඔවුහු පැවසූහ.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු පිළිබඳ ගැටලුව නිරාකරණය කරගැනීමට ඉන්දීය පාර්ශ්වය සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වන ඉන්දීය බෝට්ටු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත්, මෙමගින් සාගර සම්පත් හා මත්ස්‍ය අභිජනන ප්‍රදේශ විනාශ වන බැවින් වැළැක්වීමේ පියවර තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් නාවික හමුදාවට උපදෙස් ලබා දී ඇති අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් තවත් වේගවත් කරන ලෙස ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ විධිමත් ධීවර වරායක් නොමැති වීම හේතුවෙන් අයහපත් කාලගුණික තත්ත්වයන්හිදී ධීවර බෝට්ටු ආරක්ෂිතව නැංගුරම් ලා තැබීමට නොහැකිව මහත් අසීරුතාවන්ට මුහුණ දෙන බවත්, බහුදින හා ගැඹුරු මුහුදු ධීවර කටයුතුවල නිරත වන බෝට්ටු සඳහා ආරක්ෂිත නැංගුරම්පොළක් අත්‍යවශ්‍ය බවත් ධීවරයෝ ප්‍රකාශ කළහ.

අත්අඩංගුවට ගන්නා ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු පවා රඳවා තැබීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව මෙහිදී පෙන්වා දෙන ලදී.

මන්නාරමේ ධීවර වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් මීට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබුණද, ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බව අනාවරණය විය.

සිලාවතුර ප්‍රදේශයේ නැංගුරම්පොළක් ඉදිකිරීමේ ශක්‍යතාව පිළිබඳව ද පරීක්ෂා කර බලමින් පවතින බව නිලධාරීහු පැවසූ අතර, ප්‍රදේශවාසීන්ගේ අදහස් ද විමසා නිලධාරීන් හරහා ශක්‍යතාවයන් විධිමත්ව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඊළඟ පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් රැසක වෙරළ ඛාදනය උග්‍රවීම නිසා ධීවර තොටුපොළවල්, වෙරළබඩ මාර්ග සහ ධීවර නිවාස බලපෑමට ලක්ව ඇති අතර, පහත් බිම් වෙත මුහුදු ජලය ගැලීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන බව සාකච්ඡාවේදී අනාවරණය විය.

විශේෂයෙන්ම තලෙයිමන්නාරම ජැටිය (Pier) සහ උප්පුකුලම් – ජනතානගර් ඇතුළු ස්ථාන 13ක් වෙරළ ඛාදනයෙන් පීඩාවට පත් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශවල වෙරළ ආරක්ෂණ පියවර ගැනීම සඳහා සුදුසු අධ්‍යයනයන් සිදු කර අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කච්චතීව් දූපතේ ධීවරයන්ට රාත්‍රී කාලයේ රැඳී සිටීමට පහසුකම් සැලසීම සඳහා විධිමත් අවසරයක් ලබා දෙන ලෙස ධීවරයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නාවික හමුදාවෙන් කරුණු විමසූ අතර, කච්චතීව්හි ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලු පවතින බවත්, උසස් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සුදුසු පිළිතුරක් ලබා දෙන බවත් නාවික හමුදාව ප්‍රකාශ කළේය.

එමෙන්ම 2019 සිට 2025 දක්වා ධීවරයන් 72 දෙනෙකුට පර්ස්සේන් (Purse Seine) දැල් භාවිතයෙන් ධීවර කර්මාන්තයේ නිරත වීමට අවසර දී තිබූ අතර, 2026 වසරේදී එම බලපත්‍ර සංඛ්‍යාව 30 දක්වා අඩු කර ඇත.

පසුගිය වසර තුන පුරා අඛණ්ඩව මෙම ක්‍රමයට ධීවර කර්මාන්තයේ නිරත වූ බලපත්‍රලාභීන්ට මෙහිදී ප්‍රමුඛතාව ලබා දී ඇති බව නිලධාරීන් පැහැදිලි කළ අතර, බලපත්‍ර අහිමි වූ ධීවරයන්ගේ ඉල්ලීම් පිළිබඳව ද අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාධනීය පිළිතුරක් ලබා දීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සහතික විය.

මන්නාරම දිස්ත්‍රික්කයේ අනෙකුත් ධීවර කලාපවල සහ වෙනත් දිස්ත්‍රික්කවලට අයත් දේශීය ට්‍රෝලර් බෝට්ටුවල නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ද පැමිණිලි ලැබෙමින් පවතින බව අනාවරණය විය.

මෙලෙස නීති විරෝධී ලෙස පතුල සූරන පන්න ක්‍රම භාවිත කිරීම නිසා පාරම්පරික ධීවර කටයුතුවලට බාධා පැමිණීම, ධීවර උපකරණවලට හානි සිදු වීම සහ ධීවර කණ්ඩායම් අතර ගැටුම් ඇති වීම පිළිබඳව ද ධීවරයෝ සිය කණගාටුව පල කළහ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේ, තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම භාවිත කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, නීති විරෝධී ධීවර කටයුතු පාලනය කිරීමට ධීවර ප්‍රජාවගේ ද පූර්ණ සහයෝගය ලැබිය යුතු බවත්ය.

මන්නාරම ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කර නැංවීමටත්, ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමටත් රජය සුදුසුම පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජගදීස්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, කාදර් මස්තාන්, තුරෙයිරාසා රවිහරන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, ජාතික ජලජජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) උතුරු පළාත් සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ධීවර සමිති නියෝජිතයන්, නාවික හමුදාව, පොලිසිය ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවරයෝ රැසක් සහභාගී වූහ.