නවසීලන්තයේ අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනතක්

නවසීලන්ත රජය වයස අවුරුදු 16 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා.

ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චැට් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල මගින් පරිශීලකයන්ගේ වයස පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීමටයි ඉන් යෝජනා කර තිබෙන්නේ.

මෙම නීති කඩකරන සමාජ මාධ්‍ය සමාගම්වලට ඔවුන්ගේ ගෝලීය ආදායමෙන් සියයට 10 ක් දක්වා දඩ මුදල් පැනවෙනු ඇති.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් පවසන්නේ සමාජ මාධ්‍ය මගින් ළමයින්, හානිකර අන්තර්ගතයන්ට සහ මානසික පීඩනයන්ට ලක්වන බවයි.

මෙම තත්ත්වය ළමයින්ගේ පවුල් ජීවිතයට, මානසික සෞඛ්‍යයට, නින්දට සහ අධ්‍යාපනයට බරපතල ලෙස බලපාන බව ද ඔහු පෙන්වා දෙනවා.

සැබෑ ලෝකයේ මෙන්ම සයිබර් අවකාශයේද ළමුන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

නව පනත යටතේ ගිණුම් තොරතුරු, මුහුණේ වයස අනුමාන කිරීමේ තාක්ෂණය සහ ඩිජිටල් හැඳුනුම්පත් පරීක්ෂාවෙන් පරිශීලකයන්ගේ වයස තහවුරු කිරීමට සමාගම් පියවර ගතයුතුයි.

ළමයින් හෝ දෙමාපියන් සඳහා මෙහිදී දඩ පැනවීමක් සිදු නොවනු ඇති. එහෙත් නීති කඩකරන සමාගම්වලට ඕස්ට්‍රේලියාවේ පනවා ඇති ඩොලර් මිලියන 99 ක දඩයට වඩා වැඩි දඩයක් නියම විය හැකි බවයි සඳහන් වන්නේ.

2027 වසරේ මුල් භාගයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහෙත් මෙම පනත සම්මතවේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඕස්ට්‍රේලියාව මීට පෙර මෙවැනි තහනමක් පැනවූ අතර බ්‍රිතාන්‍යය සහ ග්‍රීසියද ඉදිරි වසරේදී සීමා පැනවීමට සූදානම් වෙනවා.

එහෙත් ප්‍රංශයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවුරුදු 15 ට අඩු ළමයින්ගේ සමාජ මාධ්‍ය තහනම ප්‍රකාශනයේ නිදහසට බාධාවක් බව පවසමින් එය ඉවත් කළා.