අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරානය ඇතුළු කලාපයේ කාන්තාවන් සහ ළමුන් ජීවිතක්ෂයට පත්වන බව පවසමින් අමෙරිකානු කොංග්රස් මණ්ඩල මන්ත්‍රී ඩෙලියා රාමිරෙස් ප්‍රබල විවේචනයක් එල්ල කර තිබෙනවා.
ඇය සඳහන් කරන්නේ පවතින ගැටුම්කාරී තත්ත්වය වහාම අවසන් කිරීම සඳහා කොංග්රස් මණ්ඩලය මැදිහත් විය යුතු බවයි.
මේ අතර පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අමෙරිකාව සහ ඉරාන නොසන්සුන්තාව හේතුවෙන් මැදපෙරදිග තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවට පවතින බියත් සමඟ, ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.67 දක්වා ඉහළ ගියා.
අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිලද ඩොලර් 91.56 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ඉරානයට එරෙහිව ඇමෙරිකාව ක්‍රියාත්මක කරන ආර්ථික සම්බාධක සම්බන්ධ ක්‍රියාමාර්ගයට යුරෝපා සංගමය ද නිල වශයෙන් එක්වූ බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්රකාශකළා.
කෙසේ වෙතත්, ඇමෙරිකානු නාවික බාධක මගහැර තෙල් අපනයනය කරගෙන යාමට හැකි බවත් පවතින අභියෝගාත්මක තත්ත්වය පාලනය කරගත හැකි බවත් ඉරාන අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් පවසනවා.
නැගෙනහිර ජෙරුසලමේ දමස්කස් දොරටුව අසලදී පිහි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ බවට චෝදනා කරමින් ඊශ්‍රායල පොලිසිය විසින් පලස්තීන ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර, බටහිර ඉවුරේ ප්‍රදේශ ගණනාවක ඊශ්‍රායල හමුදාව විසින් වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් තවදුරටත් දැඩි තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
