ආර්ථිකයේ සුබ ලකුණක්

මෙරට විදේශීය ජංගම ගිණුම අගෝස්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 133 ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා.

ආනයන වියදම් පහළ යාමට සාපේක්ෂව වෙළෙඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන හේතුව බවයි මහ බැංකුව පවසන්නේ.

මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමෙන් විදේශීය අංශයට බලපෑ පීඩනය නිසා මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ ජංගම ගිණුමේ සමුච්චිත හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 291 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ වසරේ පළමු මාස 08 තුළ භාණ්ඩ ආනයනය අමෙරිකානු ඩොලර් මිලියන 16,557 ක්. මේ අතර අගෝස්තු මාසයේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 264 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

එය වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2 යි දශම 1 ක වර්ධනයක්.

එම මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ‍ඩොලර් මිලියන 749 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 10 ක වර්ධනයක් බවයි ශ්‍රි ලංකා මහ බැංකුව පවසන්නේ.

ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ සමස්ත ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 06 යි දශම 1 ක් වනවා.

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව එය සියයට 19 යි දශම 8 ක වර්ධනයක්.

මේ අතර ඉකුත් අගෝස්තු මාසයේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙද‍පොලෙහි විදේශීය ආයෝජන අමෙරිකානු ඩොලර් මිලියන 70 යි දශම 02 ක ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.