බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති ‘ARNAB’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
අද (26) පෙරවරු 9.30ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වෙයි.
බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, අද රාත්රී 11.30 පමණ වන විට බටහිර මධ්යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබෙනවා.
අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බව සඳහන් වේ. එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා.
එම මුහුදු ප්රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

