සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් කළමනාකරණ ක්රියාවලියේ මෙහෙයුම් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මිලදී ගත්, රුපියල් මිලියන 130ක් වටිනා නවීන රීච් ට්රක් රථ (Reach Trucks) 11ක් සහ ෆෝක්ලිෆ්ට් රථ (Forklifts) 4ක් ඊයේ (23) වෛද්ය සැපයුම් අංශය (MSD) වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් එම කටයුතු සිදු වූ අතර, ලෝක බැංකු ව්යාපෘති ප්රතිපාදන යටතේ මෙම උපකරණ තොගය සපයා ඇත.
දැනට වෛද්ය සැපයුම් අංශය සීමිත පැරණි ෆෝක්ලිෆ්ට් රථ ප්රමාණයක් සහ කුලියට ගත් රථ උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු සිදු කළ බැවින්, මෙම නව රථ වෛද්ය සැපයුම් වෙත දිගු කලක් තිස්සේ පැවති අත්යවශ්ය මෙන්ම විශාල අවශ්යතාවයක් සපුරාලීමකි.
වරකට යන්ත්ර කිහිපය බැගින් මිලදී ගැනීම වෙනුවට, මෙලෙස ෆෝක්ලිෆ්ට් සහ රීච් ට්රක් රථ 15ක විශාල බහලුම් තොගයක් එකවර මිලදී ගෙන ඇත්තේ වසර 25කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.
අලුතින් සපයන ලද මෙම සියලුම රථ ඖෂධ සහ වෛද්ය සැපයුම් වඩාත් සුරක්ෂිතව හා වේගවත්ව හැසිරවීම සඳහා අවශ්ය නවීනතම තාක්ෂණයෙන් සහ උපාංගවලින් සමන්විත වේ.
ඖෂධ ගබඩා ධාරිතාව ඉහළ නැංවීමට නව ව්යාපෘති
මෙම උපකරණ සැපයීමට අමතරව, දිවයිනේ ඖෂධ ගබඩා ධාරිතාව පුළුල් කිරීම සඳහා ගාල්ල, කොළඹ සහ අනුරාධපුර යන ප්රදේශවල නව ඖෂධ ගබඩා සංකීර්ණ (Pharmaceutical Warehouses) 3ක් ඉදිකිරීමටද මෙම ලෝක බැංකු ව්යාපෘතිය යටතේ ණය ආධාර හිමිවීමට නියමිතය.
මෙමඟින් වෛද්ය සැපයුම් අංශයේ සමස්ත ගබඩා ධාරිතාවට ඝන මීටර 20,000ත් 30,000ත් අතර අතිරේක ඉඩ ප්රමාණයක් එකතු වේ.
මෙම නවීන ගබඩා සංකීර්ණවල ඉදිකිරීම් කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම සමස්ත නවීකරණ වැඩපිළිවෙළ හරහා ශ්රී ලංකාවේ රාජ්ය සෞඛ්ය ක්ෂේත්රයේ ඖෂධ බෙදාහැරීමේ ජාලය සහ සැපයුම් දාම කළමනාකරණය (Supply Chain Management) වඩාත් විධිමත් හා ගුණාත්මක වනු ඇතැයි සෞඛ්ය අමාත්යාංශය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය දේදුණු ඩයස්, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (වෛද්ය සැපයුම් අංශය) වෛද්ය එස්.පී.ඒ.එල්. රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




