මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මිලියන 25ක දේපළ ක්‍රියා විරහිත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන රුපියල් මිලියන 25 ක් පමණ වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයට අදාලව එලුවිල, පානදුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 45 ක් වන පුද්ගලයෙකු එම කොට්ඨාසය මගින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් ලබා ගන්නා ලද පහත දේපළ ඊයේ දින සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර ඇත.

• රුපියල් මිලියන 20 ක් පමණ වටිනාකමකින් යුක්ත පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 13 ක් හා එහි ඉදිකර ඇති දෙමහල් නිවස.

• රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනාකමකින් යුක්ත පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 13.1 බැගින් වූ ඉඩම් කොටස් 02 ක් (මුළු වටිනාකම මිලියන 05 යි)

සැකකරු අද (24) දින පානදුර ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.