අලි සම්පත සුරැකීමට පොළොන්නරුවේ නව ඇත්අතුරු සෙවණක්

ශ්‍රී ලංකාවේ උතුරු හා උතුරු මැද කලාපවල අලි-මිනිස් ගැටුම්, ගංවතුර සහ දුම්රිය අනතුරු වැනි ආපදා හේතුවෙන් මව්වරුන්ගෙන් වෙන්ව අසරණ වන සහ තුවාල ලබන අලි පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පොළොන්නරුව, කලාහගල ප්‍රදේශයේ නව ඇත්අතුරු සෙවණක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේ, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙම ස්ථානය තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව, පොළොන්නරුව නගරයට ආසන්න කලාහගල ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු හෙක්ටයාර 15ක පමණ භූමි ප්‍රමාණයක් මේ සඳහා ලබාදීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එකඟතාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත අලි ගහනය 7,000කට ආසන්න වන අතර, ඉන් අලි ඇතුන් 1,300ක් පමණ පොළොන්නරුව කලාපයේ වාසය කරති.

දැනට දිවයිනේ ක්‍රියාත්මක වන එකම ඇත්අතුරු සෙවණ උඩවලව ප්‍රදේශයේ පිහිටා ඇති බැවින්, පොළොන්නරුවේ සිට උඩවලව දක්වා අලි පැටවෙකු ප්‍රවාහනය කිරීමට පැය 7ත් 9ත් අතර කාලයක් ගතවේ.

තුවාල ලැබූ අලි පැටවුන් මෙලෙස දීර්ඝ කාලයක් ප්‍රවාහනය කිරීම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති කරන බැවින්, පොළොන්නරුවේ නව මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් පැයක් හෝ දෙකක් ඇතුළත අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම නව ඇත්අතුරු සෙවණ ස්ථාපිත කිරීමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසෙනු ඇත.