හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් තීරණයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ දින හතක සැලසුම ක්‍රියාත්මක කිරීමට අදාළව මැදිහත්කරුවන් සමඟ සක්‍රීයව සාකච්ඡා පවත්වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කරනවා.

එහෙත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය සමඟ කිසිදු පෞද්ගලික හෝ රහසිගත සාම සාකච්ඡාවක් ආරම්භ කර නොමැති බවයි.

මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය, සවුදි අරාබිය සහ යේමනය ඇතුළු රටවල් ගණනාවක ආරක්ෂක අර්බුද උග්‍ර වෙමින් පවතිනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සැලසුම යටතේ අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි.

ඕනෑම සාකච්ඡාවකට පෙර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මුලින්ම අවධානය යොමු කළ යුතු බව වොෂින්ටන් පාලනය අවධාරණය කරනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානය සමඟ පැවැති යම් සන්නිවේදනයක් වී නම් ඒ වෛද්‍ය ආධාර සැපයීම සම්බන්ධයෙන් පමණක් බවයි.

මේ අතර යේමනයේ හූති කැරලිකරුවන්ගේ 6 වන ප්‍රහාරයත් සමග ඒඩන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින්ට සහ ගුවන් තොටුපළට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සවුදි අරාබියේ නැගෙනහිර සහ නජ්රාන් ප්‍රදේශවලට හූති ප්‍රහාර එල්ල වීමේ තර්ජනය පහව ගොස් ඇති බව සඳහන්.