ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්යාපන අමාත්යාංශය සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සහයෝගීතාවයෙන් ක්රියාත්මක වන ‘VISION’ වැඩසටහන යටතේ මාතර සාන්ත සර්වේශස් විද්යාලයේ සිසුහු ඊයේ (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී විශේෂ වැඩසටහනක එක් වූහ.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් මහත්මිය, සැබෑ පොහොසත්කම මුදල් හා භෞතික සම්පත්වලට පමණක් සීමා නොවන බවත්, යහපත් ආකල්ප, අවංකභාවය සහ මානව ගුණාංගවලින් ද එය සමන්විත විය යුතු බවත් අවධාරණය කළාය.
මේ අවස්ථාවට එක් වූ සාන්ත සර්වේශස් විද්යාලයේ ආදි ශිෂ්යයකු වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා සිසුන්ගේ අනාගත අරමුණු, පෞරුෂ සංවර්ධනය සහ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා වර්ධනය කරගත යුතු ගුණාංග පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
ශිෂ්ය ජීවිතයේදී දැනුම එක්රැස් කරගැනීම මෙන්ම යහපත් මානව ගුණාංග සහ ආකල්ප වර්ධනය කරගැනීම ද වැදගත් බව මෙහිදී යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. තමන් තෝරාගත් ඉලක්ක කරා කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ගමන් කිරීමේ අවශ්යතාව පෙන්වා දුන් ඔහු, දැනුම, යහපත් ආකල්ප සහ ඉලක්කගත ක්රියාකාරිත්වය අනාගත සාර්ථකත්වයට ශක්තිමත් පදනමක් වන බව ද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජීවන ගමන සහ දේශපාලන ගමන්මඟ තුළින් සිසුන්ට උගත හැකි පාඩම් පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා විසින් අදහස් දැක්වූ අතර ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එහි වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කළේය.
‘VISION’ වැඩසටහනේ 2024–2026 කාලසීමාව තුළ සිදු වූ සුවිශේෂී අවස්ථා සහ මතක සටහන් ඇතුළත් වීඩියෝ පටයක් ද මෙහිදී ප්රදර්ශනය කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් විද්යාලයට අත්යවශ්ය පොත් කට්ටලයක් ප්රදානය කරන ලද අතර, විද්යාලය වෙනුවෙන් පැළයක් ද ප්රදානය කෙරිණි. තවද, විද්යාලය සහ යුද හමුදාව අතර පවතින සුහදත්වය හා අන්යෝන්ය ගෞරවය සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු ඵලක හුවමාරු කර ගැනීම ද සිදු විය.
මෙම සුවිශේෂී අවස්ථාව සිහිපත් කිරීම සහ වැඩසටහනට ලබාදුන් සහයෝගය අගය කරමින් සාන්ත සර්වේශස් විද්යාලයේ විදුහල්පතිනි කපිතාන් සමිත කුරුකුලසූරිය මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්ය සංගමයේ නියෝජිතයෝ විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සමරු තිළිණයක් පිරිනැමූහ.
