කොරියානු පාර්ලිමේන්තු දූත පිරිසක් සහ නියෝජ්‍ය කථානායකවරයා අතර හමුවක්

කොරියානු ජනරජයේ ජාතික සභාව නියෝජනය කරමින්, ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ (CPE) දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා හමුවී තිබෙනවා.

පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, ජනගහන ප්‍රතිපත්ති, අධ්‍යාපනය සහ ආර්ථික හුවමාරු යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

කොරියානු දූත පිරිස කොරියානු ජාතික සභාවේ බුද්ධි කමිටුවේ සභාපති සහ ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගයේ උප සභාපති ලී යැං-සු මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණ සිටියා.

එම දූත පිරිසට එම ලීගයේ සාමාජික ක්වාක් සෑං-ඊඔන් මහතා, කොරියානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති ගරු කිම් සෝ-හී මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති යූන්-ජුං කිම් මහත්මිය ද ඇතුළත්.

1989 වසරේදී පිහිටුවන ලද ළමා, ජනගහන හා පරිසරය පිළිබඳ කොරියානු පාර්ලිමේන්තු ලීගය, දේශගුණික විපර්යාස, ජනගහනය සහ ළමා සුබසාධනය සම්බන්ධ ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.

2027 වසරේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීම සැලකිල්ලට ගනිමින්, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාව දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

විශේෂයෙන්ම, දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් යටිතල පහසුකම්වලට සහ කෘෂිකාර්මික ඉඩම්වලට සිදුවූ සැලකිය යුතු හානි පිළිබඳව ඔහු සඳහන් කළා.

එමෙන්ම, උපත් අනුපාතය පහළ යාම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දෙන ජනගහන අභියෝග පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළා.

මෙම තත්ත්වයන් අනාගතයේදී යැපෙන්නන්ගේ අනුපාතයට සහ ශ්‍රම බලකාය සපයා ගැනීමේදී සැලකිය යුතු බලපෑමක් ඇති විය හැකි බව ද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සහ එය ශක්තිමත් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

කොරියානු ජනරජය තුළ පහළ යන උපත් අනුපාතයට මුහුණදීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින්, කොරියානු නියෝජිතයෝ අලුත විවාහ වූ යුවළ සඳහා දැරිය හැකි කුලී නිවාස යෝජනා ක්‍රම, අඩු පොලී ණය සහ නිවාස දිරිගැන්වීම් ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කිහිපයක් පැහැදිලි කළා.

විශ්‍රාම වැටුප් ආවරණයේ පවතින හිඩැස් අවම කිරීම සඳහා විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනා පිළිබඳව ද දූත පිරිස අදහස් පළ කළා.

එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තරුණ පරපුරට ප්‍රමාණවත් රැකියා අවස්ථා සහතික කිරීමේ වැදගත්කම ද ඔවුන් අවධාරණය කළා.

ආර්ථික සංවර්ධනය සමඟ පරිසර ආරක්ෂාවට ද ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර ස්වාභාවික ආපදා හේතුවෙන් වසර ගණනාවක් පුරා අත්කරගත් ආර්ථික ප්‍රගතියට හානි සිදුවිය හැකි බව ද මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව තුළ කොරියානු සංස්කෘතිය, විශේෂයෙන්ම කොරියානු පොප් සංගීතය ජනප්‍රිය වීම සහ දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

තවද, දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබාගත හැකි තාක්ෂණික හා වෘත්තීය පුහුණු අවස්ථාවල ප්‍රතිලාභ පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළා.

එම පුහුණු අවස්ථා මඟින් වෘත්තීය කුසලතා වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට ද ආර්ථික ප්‍රතිලාභ හිමිවන බව මෙහිදී සඳහන් වුණා.

ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත පරිසරය හා සංවර්ධනය පිළිබඳ ආසියා – පැසිෆික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුවට (APPCED) සහභාගී වන ලෙස කොරියානු දූත පිරිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආරාධනා කළා.

එම සමුළුවේදී කොරියාව රටවල් කිහිපයක් වෙනුවෙන් සභාපතිත්වය දරනවා.

එසේම, ලබන වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් සඳහා කොරියානු ව්‍යාපාරික ආයතනවල සහභාගීත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.