රන් ආභරණ තොගයක් පොලිස් භාරයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නැමති සැකකරු සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරුගේ බිරිඳගේ මව වන නල්ලාහන්දි ශ්‍යාමා කුමුදුනී යන අයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ කිලෝ 01 ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් අධිකරණයේ නියෝග ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.

මෙම ආභරණ නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ආභරණ ද යන්න සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබනවා.